Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියාව පරද්දන්න දියුණු කර ගත යුතු අංශ දෙකක් ගැන දිමුත් පහදයි

ඉදිරි තරගාවලි ජය ගැනීම සදහා පන්දු රැකීමේ අංශය හා දග පන්දු යැවීමේ අංශය තවදුරටත් දියුණු කර ගැනීම අතිශය වැදගත් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් අද(28) පස්වරුවේ මේ බව සදහන් කළා.

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, එම ජයග්‍රහනය සදහා ප්‍රධාන කාර්යය භාරයක් ඉටු කරන ලද්දේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්.

දග පන්දු යවන්නන්ගේ දක්ෂතා මෙම තරගාවලියේ දී එතරම් ඉහළ මට්ටමක පැවතුණේ නැහැ.

දෙවැනි ටෙස්ට් තරගයේ දී දැවී ගිය බංග්ලාදේශ කඩුලු 20න් කඩුලු 17ක්ම දවා ගත්තේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් විසින්. දග පන්දු යවන්නන්ට දවා ගත හැකි වූයේ (රමේෂ් මෙන්ඩිස් විසින්) එක් කඩුල්ලක් පමණයි. (දුවද්දී දැවී යාම් දෙකක් ද වාර්තා වුණා.)

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම සදහා වේග පන්දු යවන්නන්ගෙන් සුවිශේෂී දායකත්වයක් හිමි වූ බවත්, දග පන්දු යවන්නන්ගේ දක්ෂතා පහළ මට්ටමක පැවැති බවත් දිමුත් මාධ්‍ය හමුවේ සදහන් කළා.

“වෙනද තණතීරුවලට වඩා ගොඩක් වෙනස් තණතීරු තමයි මේ පාර හම්බුණේ. ඉතිං වෙනදට වඩා ගොඩක් මහන්සි වෙන්න වුණා.(ජයග්‍රහනය වෙනුවෙන්)” යනුවෙන් දිමුත් කියා සිටියා.

“වේග පන්දු යවන්නන් තමයි සෑහෙන බර ප්‍රමාණයක් ඇද්දේ කණ්ඩායම වෙනුවෙන්. ඒ වෙනුවෙන් මම ගොඩක් ස්තූතිවන්න ඕනෙ වේග පන්දු යවන්නන්ට, ගොඩක් මහන්සිවෙලා අපිට ජයග්‍රහනය කරා යන්න මාර්ගයක් සකස් කරල දුන්නට”

“මීර්පූර්වල තරගය අපි හිතුවෙ ගොඩක් වෙලාවට දග කැවෙයි කියල (පන්දුව). නමුත් එහෙම වුණේ නැහැ. අපේ දග පන්දු යවන්නන්ට සෑහෙන්න මහන්සි වෙන්න වුණා කඩුලු ලබා ගන්නා. සමස්තයක් විදිහට ගත්තම දග පන්දු යවන්නන් සෑහෙන පහළ මට්ටමක තමයි පන්දු යැව්වේ. අපි හොදට පන්දු යවල තිබ්බනම් (දග පන්දු යවන්නන්) මම හිතනව තරගාවලිය මීට වඩා තවත් ලේසියෙන් ජය ගන්න තිබ්බා.”

ඉදිරි තරගාවලි වෙනුවෙන් හොද සූදානමක කණ්ඩායම පසුවන නමුත්, පන්දු රැකීම හා දග පන්දු යැවීමේ අංශය තවදුරටත් ශක්තිමත් කර ගත යුතු බවයි දිමුත් මෙහිදී අවධාරණය කර සිටියේ.

“අපිට තව තැන් කිහිපයක් තියෙනවා තව හදාගන්න. එකක් පන්දු රැකීමේ පැත්ත, ඒ වගේම අපේ දග පන්දු බලඇණිය. ඒ පැත්ත තමයි මම සෑහෙන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නෙ අපි හොදින් කරන්න ඕනෙ කියලා. මොකද අපි ක්‍රීඩාකරන්නේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය එක්ක දග කැවෙන තණතීරුවල. ඉතිං මම හිතනවා ඔවුන්(දග පන්දු යවන්නන්) ලොකු දෙයක් කරන්න ඕනෙ ඒ තරගාවලි ජයගන්න. මම හිතන්නේ නෑ වේග පන්දු යවන්නන්ට පුලුවන් කියලා ඒ තණතීරුවල ලොකු දෙයක් කරන්න. මම හිතනවා දග පන්දු යවන්නන් ගොඩක් මහන්සි වෙලා නැවතත් ඔවුන්ගේ සුපුරුදු රිද්මයට ඇවිල්ලා, ජයග්‍රහනයක් කරා යන්න මග පාදයි කියලා.

දර්ශන පහතින් නරඹන්න –

Leave a comment