Ultimate magazine theme for WordPress.

එංගලන්ත සංචාරය අර්බුදයක; ක්‍රීඩකයින් හා බළධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

එංගලන්ත තරග සංචාරය සදහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් බලධාරීන් අතර ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් පිළිබද අද පැවැති (7) සාකච්ඡාවකදී උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තා වනවා.

ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලයේ දී මෙම සාකච්ඡාව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්ත සංචාරය වෙනුවෙන් සංචාරක කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන ක්‍රීඩකයින්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට ක්‍රිකට් බළධාරීන් මෙම සාකච්ඡාවේ දී දැනුම් දී ඇති බව සදහන්.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත්, සංචාරක කොන්ත්‍රාත්තු අත්සන් නොකරන ක්‍රීඩකයින්ට හෝටල් පරිශ්‍රයෙන් ද ඉවත් වන ලෙසට දැනුම් දී ඇති බවත් ක්‍රීඩා මාධ්‍යවේදී ධනුෂ්ක අරවින්ද මහතා වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, අනතුරුව ගිවිසුම් අත්සන් කිරීම සදහා පස්වරු 3 වන තෙක් ක්‍රීඩකයින්ට කල් ලබා දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයින්ට වසර කිහිපයක තරග තහනමක් පනවන බවට ද ක්‍රිකට් බළධාරීන් අද පැවැති සාකච්ඡාවේ දී පවසා ඇති බව ද සදහන්.

ක්‍රීඩකයින් සහ බළධාරීන් අතර තවදුරටත් සාකච්ඡා සිදු වෙමින් පවතිනවා.

මෙවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ද මේ වන විට බරපතල අර්බුදයකට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හෙට රාත්‍රී කාලයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති බැවින්.

නව ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ඇති අක්‍රමිකතා සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබද මතුව ඇති බරපතල ගැටලු හේතුවෙන් වාර්ෂික සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පසුගියද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

ඒ අනුව එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා එක්වන ක්‍රීඩකයින් ඊට අදාළ සංචාරක ගිවිසුම් ද අත්සන් නොකිරීමට තීරණය කළ අතර, ඉදිරියේ දී කිසිදු සංචාරක ගිවිසුමකට ඇතුළත් නොවීමටයි ක්‍රීඩකයින් තීරණය කර ඇත්තේ.

එංගලන්ත සංචාරයට එක් නොවන ක්‍රීඩකයින් ද ඉදිරියේ දී පැවැත්වෙන කිසිදු සංචාරයකට අදාළ සංචාරක ගිවිසුම්වලට අත්සන් නොකිරීමට තීරණය කර තිබෙනවා.

Leave a comment