Ultimate magazine theme for WordPress.

එංගලන්තය ලකුණු 332ක් පිටුපසින්

Day 2 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(2) නිමා වුණේ තරගයේ වැඩි පාලනය තවදුරටත් ඉන්දියාවට නතු කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 84ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ජොනී බෙයාර්ස්ටව් ලකුණු 12ක් ලබා සිටින අතර, නායක බෙන් ස්ටොක්ස් තවමත් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ.

එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඇලේක්ස් ලීස් ලකුණු 6කට දැවී ගියා. සැක් ක්‍රව්ලි ලකුණු 9යි. ඔලී පෝප් ලකුණු 10කට දැවී ගියා. එම කඩුලු තුනම දවා ගත්තේ නායක ජස්ප්‍රිට් බුම්රා විසින්.

ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස සුපිරි පිතිකරු ජෝ රූට්ගේ කඩුල්ල දවා ගැනීමට මොහොමඩ් සිරාජ් සමත් වුණා. දැවී යන විට රූට් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 31ක්. ජැක් ලීච් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත්තේ මොහොමඩ් ෂාමි විසින්.

බර්මිංහැම් හි දී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය සදහා තරගය අද ආරම්භ කරන විට කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 338ක් ලබා සිටියා. ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 416ක්.

ඒ, ඉන්දීය ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 98 දී බිද වැටුණු පසුබිමකයි. කෙසේ වෙතත්, අනතුරුව රිෂාබ් පාන්ට් හා රවීන්ද්‍ර ජඩේජා එක්ව බිද වැටුණු ඉන්දීය ඉනිම ගොඩ නැගුවා. 6 වැනි කඩුල්ල සදහා ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 222(239) ක්.

සිය ටෙස්ට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කළ පාන්ට් පන්දු 111කින් වේගවත් ලකුණු 146ක් ලබා ගත්තා. හයේ පහර 4ක් හා හතරේ පහර 19ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ජඩේජා ලකුණු 104 ක් ලබා ගත්තා. එය ඔහුගේ තෙවැනි ටෙස්ට් ශතකයයි.

නායක ජස්ප්‍රිට් බුම්රා නොදැවී ලකුණු 31ක් රැස් කළේ පන්දු 16කින්.

Watch : පන්දුවාරයකට වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණයේ ලෝක වාර්තාව බුම්රාට හිමි වූ හැටි

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 60කට කඩුලු 5ක් දවා ගත්තා. මැතිව් පොට්ස් කඩුලු 2ක් බිද හෙලුවා. බෙන් ස්ටොක්ස්, ස්ටුවට් බ්‍රෝඩ් හා ජෝ රූට් අතරේ ද එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව එංගලන්තය මේ වන විට සිය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 332ක්.

Leave a comment