Ultimate magazine theme for WordPress.

එංගලන්තයට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංචාර ගිවිසුම් අත්සන් කිරීමත් ප්‍රතික්ෂේප කරයි

නව ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ඇති අක්‍රමිකතා සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබද මතුව ඇති බරපතල ගැටලු හේතුවෙන් වාර්ෂික සහ සංචාර ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයින් එකග නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පවසනවා.

එකී නව ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයේ පවතින විනිවිදභාවය පිළිබද ගැටලුවලට පිළියම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් එසේ ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කළ බවයි ක්‍රිකට් ක්‍රීඩකයින් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් විසින් තම නියෝජිත ලෙස පත් කරන ලද නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතීරත්න  මහතා විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් අද (5) දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.

දක්ෂතාවය සහ ශාරීරික යෝග්‍යතාවය මත පමණක් පදනම් වූ ගිවිසුම් සදහා ක්‍රීඩකයින් සපුරා එකග නමුත්, මේ වන විට ඉදිරිපත් කර ඇති ආකාරයේ කිසිදු විනිවිද භාවයකින් තොර, දක්ෂතා හා ශාරීරික යෝග්‍යතාවය හැර වෙනත් තාත්වික නොවන, පදනම් විරහිත කරුණු මත ක්‍රිකට් ක්‍රීඩකයින් වර්ගීකරණය කරන ආකාරයේ ගිවිසුම්වලට විරුද්ධ බවයි ක්‍රීඩකයින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා එක්වන ක්‍රීඩකයින් ඊට අදාළ සංචාර ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉදිරියේ දී කිසිදු සංචාර ගිවිසුමකට ඇතුළත් නොවීමටත් තීරණය කර ඇති බවයි අදාළ නිවේදනයේ සදහන් වන්නේ.

එංගලන්ත සංචාරයට එක් නොවන ක්‍රීඩකයින් ද ඉදිරියේ දී පැවැත්වෙන කිසිදු සංචාරයකට අදාළ සංචාර ගිවිසුම්වලට අත්සන් නොකිරීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව මීට පෙර වර්ෂවල දක්ෂතා දක්වා ඇති එහෙත් වාර්ෂික ගිවිසුම් ලබා නොදුන් ක්‍රීඩකයින් පිළිබදව ද සලකා බලා සාධාරණයක් ඉටු කරන තෙක් සාමූහිකව මෙම ගිවිසුම්වලට අත්සන් නොතිබීමට ක්‍රීඩකයින් තීරණය කර ඇති බව ද අදාළ මාධ්‍ය නිවේදනයේ සදහන්.

විනිවිදභාවයේ ගැටලුමත අසාධාරණ සහ පදනම් විරහිත ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කර ඇතත්, ඉදිරි තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින බව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්වා දෙනවා.

“එසේම ගිවිසුම් අත්සන් නොකළ පදනම මත සිට ක්‍රීඩකයින්ට වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ විටක වුවත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එය බාධාවක් නොවන බවත්, මන්ද තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ක්‍රීඩකයින්ගේ පළමු සහ එකම අභිප්‍රාය බවත් කියා සිටී.” යනුවෙන් එම නිවේදනයේ සදහන්.

මාධ්‍ය නිවේදනය පහතින් –

Leave a comment