Ultimate magazine theme for WordPress.

“ඉන්දීය ක්‍රීඩකයින්ට විදෙස් ලීග් ක්‍රීඩා කිරීමට අවසර දෙන්න” – රයිනා

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර නොමැති ක්‍රීඩකයින්ට විදෙස් 20යි 20 ක්‍රිකට් ලීග් ක්‍රීඩා කිරීම සදහා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දිය යුතු බව ඉන්දීය පිතිකරු සුරේෂ් රයිනා පවසනවා.

ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට යළි කණ්ඩායම වෙත ඇතුළත් වීම සදහා එය වැදගත් අවස්ථාවක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ඉර්ෆාන් පතාන් සමග සිදු කළ සජීවී සාකච්ඡාවකට එක්වෙමින් සුරේෂ් රයිනා මේ බව කියා සිටියා.

“මම හිතන්නේ යුසුෆ්, මම, රොබින් උතාපා වගේ දක්ෂ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා විදෙස් ලීග් තරගාවලිවලට ගිහිං තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් අය.මොන ලීගයද කියන එක ගැටලුවක් නැහැ. අපිට අවසර ලබා දෙන්න විදෙස් ලීග් තරගාවලි දෙකක් ක්‍රීඩා කරන්න.”

යනුවෙන් සුරේෂ් රයිනා සදහන් කළා.

“අපි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්ගත ක්‍රීඩක ලැයිස්තුවේ නැහැ. සමහරුන්ට අයි.පී.එල් කොන්ත්‍රාත් නැහැ. අපි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැහැ. දේශීය තරග ජාත්‍යන්තර ක්‍රිකට් තරග පිටිය හා සමාන නැහැ. අපිට ක්‍රීඩා කරන්න පුලුවන්නම් මාස 3ක් හොද තරගකාරී ක්‍රිකට්, සී.පී.එල්, බිග් බෑෂ් හෝ ඕනෑම ලීගයක, ඒක අපිට උදව්වක් වෙනව ක්‍රීඩාවට සූදානමින් සිටින්න.”

ක්‍රීඩාවේ නිරතවන ඉන්දීය ක්‍රීඩකයින්ට අයි.පී.එල් හැර වෙනත් ලීග් තරගාවලියන්ට ක්‍රීඩා කිරීම සදහා එරට ක්‍රිකට් ආයතනය මෙතෙක් අවසර ලබා දී නැහැ.

එසේ ක්‍රීඩා කළ හැකි වන්නේ අදාළ ක්‍රීඩකයින් විශ්‍රාම ගැනීමෙන් පසුවයි.

Leave a comment