Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තානය හමුවේ ශ්‍රී ලංකා යොවුන් පිලට අමිහිරි පරාජයක් ; ලෝක කුසලානයෙනුත් ඉවතට

Match Report

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් (Super League Quarter-Final 4) ජය වාර්තා කරමින් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(28) අලුයම සමත් වුණා.

සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඔවුන් හමුවේ ලකුණු 4ක තියුණු පරාජයකට මුහුණ දුන්නේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමයි.

ඇන්ටීගාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝනිස්තානය පන්දුවාර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 134ක් පමණයි.

ඔවුන්ගේ ඉනිම එක් අවස්ථාවක කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 24ක් ලෙස සටහන්ව තිබූ නමුත්, ලකුණු 26 වන විට ඔවුන්ගේ ඉනිමේ කඩුලු 4ක් දැවී ගියා.

අනතුරුව 5 වන කඩුල්ල සදහා ලකුණු 47ක සබදතාවයක් ගොඩ නැගීමට Abdul Hadi හා Allah Noor සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Abdul Hadi ලකුණු 37ක් රැස් කළ අතර, නූර් අහ්මඩ් ලකුණු 30ක් ලබා ගත්තා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ විනුජ රන්පුල් ලකුණු 10කට කඩුලු 5ක් දවා ගත්තා.

නායක දුනිල් වෙල්ලාලගේ කඩුලු 3ක් බිද හෙලූ අතර, ට්‍රෙවීන් මැතිව් හා යසිරු රොද්‍රිගෝ කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 46ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 130ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි කඩුල්ල බිද වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 43ක්ව තිබියදීයි.

එම දැවී ගිය පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව පසු කළේ චමිදු වික්‍රමසිංහ පමණයි. ඔහු ලකුණු 16කට දැවී ගියා.

එම කඩුලු හතෙන් කඩුලු 3ක් ම අනවශ්‍ය දුවද්දී දැවී යාම් වීම ද කනගාටුවට කරුණක්.

අනතුරුව නායක දුනිත් වෙල්ලාලගේ හා රවීන් ද සිල්වා 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබදතාවයක් ගොඩ නැගුවා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ වෙල්ලාලගේ ලකුණු 34කට දැවී ගියේ පන්දු 61කට මුහුණ දෙමින්.

රවීන් ද සිල්වා පන්දු 84කින් ලකුණු 21ක් ලබා සිටියදී දැවී ගියා.

ඉනිමේ අවසන් කඩුල්ල ද දුවද්දී දැවී යාමක් ලෙස සටහන් වීමත් සමග ශ්‍රී ලංකාවට ජය ගත හැකිව තිබූ තරගයක් පරාජයකින් අවසන් කිරීමට සිදු වුණා.

ඒ අනුව ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම එළඹෙන පළමු වැනිදා පැවැත්වෙන මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a comment