Ultimate magazine theme for WordPress.

ඇදිරි නීතියෙන් NSL අවසන් පූර්ව වටයේ අවසන් දිනයට බාධා

පසුගිය 31 වනදා ආරම්භ වූ ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග දෙකේ සිව්වැනි හා අවසන් දිනය අද(3) දිනයේ දී නොපැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

අද දිනයේ දී දිවයින පුරා ඇදිරි නීතිය පනවා තිබීම ඊට හේතුවයි.

ඒ අනුව එම තරග දෙකේ අවසන් දිනය සදහා තරගය හෙට(4) පෙරවරුවේ දී ආරම්භ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට එක්ව සිටින්නේ කොළඹ හා යාපනය යන කණ්ඩායම්.

තරගය තෙවැනි දිනය සදහා ඊයේ(2) නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි යාපනය කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 25ක් ලබා සිටියා.

ඒ, කොළඹ කණ්ඩායම පළමු ඉනිමේ දී හා දෙවැනි ඉනිමේ දී පිළිවෙලින් රැස් කළ ලකුණු 272ට හා 158ට පිළිතුරු වශයෙන්.

යාපනය කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 339ක් ලබා ගත් අතර, ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීම සදහා තවත් ලබා ගත යුතු වන්නේ ලකුණු 67ක් පමණයි. (ජයග්‍රාහී ඉලක්කය 92ක්)

මෙම තරගයේ පළමු ඉනිමේ දී කොළඹ කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 114ක් හා යාපනය කණ්ඩායම වෙනුවෙන් සමින්ද ප්‍රනාන්දු ලකුණු 123ක් රැස් කළා.

යාපනය කණ්ඩායමේ ධනංජය ද සිල්වා පළමු ඉනිමේ දී ලකුණු 48කට කඩුලු 5ක් දවා ගත්තා. කොළඹ කණ්ඩායමේ කවික දිල්ෂාන් පළමු ඉනිමේ දී ලකුණු 124කට කඩුලු 6ක් දවා ගැනීම ද විශේෂත්වයක්.

දෙවැනි අවසන් පූර්ව තරගය මහනුවර හා ගාල්ල යන කණ්ඩායම් අතර පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි.

තෙවැනි දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාලු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 147ක් ලබා සිටියා.

ඒ, මහනුවර කණ්ඩායම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 458ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව ගාලු කණ්ඩායම මේ වන විට තවත් ලකුණු 311ක් පිටුපසින් පසුවනවා.

මෙම තරගයේ දී මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු (127) හා නායක කමිදු මෙන්ඩිස් (108) ශතක වාර්තා කළා.

Leave a comment