Ultimate magazine theme for WordPress.

අවිශ්කගේ හා දසුන්ගේ හයේ කුනාටුව ශ්‍රී ලංකාවේ ගෞරවය රකියි; ඕමානයට ලකුණු 19ක පරාජයක්

Match Report

අවිශ්ක ප්‍රනාන්දු හා දසුන් ශානකගේ සටන්කාමී වේගවත් පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරය ආරම්භ කරමින් අද(7) පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ඕමානය පරදා ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඕමාන නායක සීශාන් මක්සූද් පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සාර්ථකව ඉනිම ආරම්භ කිරීමට ඕමාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 21ක්ව තිබියදී බිද වැටුණේ ශ්‍රී ලංකා ඉනිම දැඩි අවධානමකට ලක් කරමින්.

ආරම්භක පිතිකරුවෙකු වූ දිනේෂ් චන්දිමාල් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගිය අතර, අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි කමිදු මෙන්ඩිස් ද පළමු පන්දුවෙන්ම දැවී ගියා.

අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක රැස් කළේ ලකුණු 8(14)ක් පමණයි. ඉනිමේ අංක 5 පිතිකරු වූ භානුක රාජපක්ෂ පන්දු 21කින් ලකුණු 15ක් ලබා සිටියදී දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ 4 වැනි කඩුල්ල ලෙස භානුක දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ පන්දුවාර 10.4ක් අවසානයේ ලකුණු 51ක් ලෙසයි. ඒ අනුව එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ජයග්‍රාහී ලකුණු පුවරුවක් නොව ගෞරවනීය ලකුණු පුවරුවක් ගොඩ නැගීම වෙනුවෙන් ප්‍රබල සටනක නිරත වීමට සිදු වුණා.

කෙසේ වෙතත්, අනතුරුව කඩුල්ලේ එක් වූ අවිශ්ක ප්‍රනාන්දු හා නායක දසුන් ශානක සුපිරි පිතිහරඹයක නිරත වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි ලකුණු 162ක් දක්වා රැගෙන යමින්.

ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 111ක්. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 59කින් නොදැවී ලකුණු 83ක් රැස් කළා. ඒ, හයේ පහර 5ක් හා හතරේ පහර 3ක් සමගින්.

ඔහුට අනගි සහයක් ලබා දුන් නායක දසුන් ශානක පන්දු 24කින් වේගවත් ලකුණු 51ක් වාර්තා කළා. ඔහුගේ ඉනිම ද දැවැන්ත හයේ පහර 5කින් වර්ණවත් වූ අතර, හතරේ පහර 2ක් ද දසුන්ගේ ඉනිමට ඇතුළත් වුණා.

එක් අවස්ථාවක ඔවුන් දෙදෙනාගේ හයේ පහරවල් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් විසින් සමාන කළේ සුළි කුනාටුවකටයි.

පන්දු යැවීමේ දී ඕමානය වෙනුවෙන් Fayyaz Butt කඩුලු 2ක් ද, Kaleemullah හා Khawar Ali එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.

ඕමාන කණ්ඩායමේ ද මුල් පෙල පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබුණේ නැහැ.

කෙසේ වෙතත්, අංක 8 පිතිකරු වූ Naseem Khushi හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සමගින් ලකුණු 40(22)ක් රැස් කරමින් ඕමානයට යම් බලාපොරොත්තුවක් රැගෙන ඒමට සමත් වුණා. Mohammad Nadeem ලකුණු 32ක් රැස් කළා. Ayaan Khan ලකුණු 23යි.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර ලකුණු 30කට කඩුලු 4ක් දවා ගත්තා. නුවන් ප්‍රදීප් ලකුණු 7කට කඩුලු 2ක් ද, චාමික කරුණාරත්න ලකුණු 28කට කඩුලු 2ක් ද බිද හෙලුවා.

Leave a comment