Ultimate magazine theme for WordPress.

අවිශ්කගේ ශතකය ජැෆ්නා කිංග්ස් දෙවන වරටත් LPL අවසන් තරගයට රැගෙන යයි

Match Report

අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ සිය මංගල 20යි 20 ශතකය හේතුවෙන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයෙන් (Qualifier 2) දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23කින් පරදා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(21) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා කිංග්ස් කණ්ඩායමෙන් ලද ලකුණු 211ක ඉලක්කය හඹා ගිය ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 187ක් පමණයි.

හුදෙකලා සටනක නිරත වූ චාමික කරුණාරත්න සිය මංගල 20යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 47කින් නොදැවී ලකුණු 75ක් ලබා ගත්තා.

පිල් සෝල්ට් ලකුණු 22ක්, නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු 3ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ හා තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා.

අද පැවැති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග අතරින් පරාජයට පත් වූ තරග 3ම කිංග්ස් කණ්ඩායම දෙවනුවට පන්දුවට පහර දීමේ දී වාර්තා වූ පසුබිමකයි.

ඒ අනුව හම්බන්තොට පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 210ක් ලබා ගත්තේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

එය මෙවර තරග වාරයේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

කිංග්ස් ඉනිමේ පළමු කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 122ක සබදතාවයක් ගොඩ නැගූ අතර, එය එල්.පී.එල් තරග ඉතිහාසයේ පළමු කඩුල්ල සදහා වාර්තා වූ හොදම සබදතාවය වීම ද විශේෂත්වයක්.

ගුර්බාර් පන්දු 40කින් වේගවත් ලකුණු 70ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් සමගින්.

එල්.පී.එල් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි ශතකය වාර්තා කරමින් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 64කින් ලකුණු 100ක් ලබා ගත්තා. හයේ පහර 4කින් හා හතරේ පහර 10කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී ළහිරු සමරකෝන් ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා.

කිංග්ස් ඉනිමේ දී දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් දුර්වල පන්දු රැකීමක නිරත වීම ද දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ පරාජයට බෙහෙවින් බලපානු ලැබුවා.

අද තරගයෙන් ලැබූ ජයත් සමග ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර එල්.පී.එල් තරග වාරයේ අවසන් තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් එළඹෙන 23 වනදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිතයි.

පසුගිය වසරේ පැවැති එල්.පී.එල් තරගාවලියේ අවසන් තරගයට ද සුදුසුකම් ලබා ගත්තේ එම කණ්ඩායම් දෙකම වීම ද කැපී පෙනෙනවා.

Leave a comment