Ultimate magazine theme for WordPress.

අවසන් බලාපොරොත්තුව රැක ගන්න ශ්‍රී ලංකාව තරග බිමට

Match Preview

සාරාංශය

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර තීරණාත්මක තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට (31) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු 198 කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වූ අතර, දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. ඒ අනුව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ නවසීලන්තය විසින් හිමි කර ගෙන සිටින බැවින් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමටනම් අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන් ජය ගත යුතු වනවා.

තරගය හැමිල්ටන් හි Seddon Park ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් හෙට පෙරවරු 6.30 ට ආරම්භ වීමට නියමිතයි. නවසීලන්තය මෙම ක්‍රීඩාංගනයේ අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරග 12 න් තරග 10 ක් ම ජය ගෙන ඇති අතර, පරාජයට පත්ව ඇත්තේ තරග දෙකක් පමණයි. ඔවුන් එලෙස පරාජයට පත් වූ එක් තරගයක් ශ්‍රී ලංකාව හමුවේ 2015 වසරේ දී පරාජයට පත්ව තිබුණා. ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගයක් ජය ගෙන ඇත්තේ ද 2015 වසරේ දී යි.

මේ අතර, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක අවසන් තරගය වන්නේ හෙට පැවැත්වෙන තරගයයි.

ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන්නනම්

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම පිළිබද යම් බලාපොරොත්තුවක් හෝ ඉතිරි කර ගැනීමටනම් හෙට පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජය ගත යුතුයි.

ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව පවතින්නේ ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන රටවල් අට සදහා පමණයි. ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු 81 ක් හිමි කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ රැදී සිටිනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රසාද ලකුණු 88 ක් ලබා 8 වැනි ස්ථානයේ රැදී සිටින අතර, ප්‍රසාද ලකුණු 78 කට හිමිකම් කියන දකුණු අප්‍රිකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 10 වැනි ස්ථානයේ යි.

ඒ අනුව නවසීලන්තයට එරෙහි තෙවැනි එක්දින තරගය ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සමස්ත ප්‍රසාද ලකුණු 91 ක් ලබා ගනිමින් මේ වන විට 8 වැනි ස්ථානයේ පසුවන කොදෙව්වන් අභිබවා යමින් 8 වැනි ස්ථානය හිමි කර ගැනීමට අවස්ථාවක් උදා වනවා.

කෙසේ වෙතත්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නෙදර්ලන්තයට එරෙහි එක්දින තරග දෙකම දකුණු අප්‍රිකාව ජයගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 98 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අභිබවා යා හැකි අතර, බංග්ලාදේශයට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත එක්දින තරග තුනම ජයගතහොත් අයර්ලන්තයට ද ප්‍රසාද ලකුණු 98 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අභිබවා යාමට අවස්ථාව පවතිනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමටනම් හෙට තරගය ජය ගැනීමට අමතරව දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය අදාළ තරගාවලියන් හී දී අවම වශයෙන් එක් තරගයක් හෝ පරාජයට පත් වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි.

කණ්ඩායම් දෙක

හෙට තරගය සදහා ධනංජය ද සිල්වා කැදවීමට බොහෝ විට ඉඩ ඇති අතර, ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමට ඉඩ පවතිනවා.

ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම –

Pathum Nissanka, Nuwanidu Fernando, Kusal Mendis (wk), Angelo Mathews, Charith Asalanka, Dasun Shanaka (c), Dhananjaya de Silva, Chamika Karunaratne, Wanindu Hasaranga, Kasun Rajitha, Lahiru Kumara

පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම හා සැසදීමේ දී තෙවැනි එක්දින තරගයට අවම වශයෙන් වෙනස්කම් දෙකක් සිදු කිරීමට නවසීලන්තයට සිදුව තිබෙනවා. ඒ, ෆින් ඇලන් හා ග්ලේන් පිලිප්ස් අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් සංචිතයෙන් ඉවත්ව ඇති බැවින්. බොහෝ විට හෙන්රි නිකල්ස් හා මාර්ක් චැප්මන් ඔවුන් දෙදෙනා වෙනුවට කණ්ඩායමට කැදවීමට නියමිතයි.

ක්‍රීඩා කළ හැකි නවසීලන්ත කණ්ඩායම –

Henry Nicholls, Chad Bowes, Will Young, Daryl Mitchell, Tom Latham (c, wk), Mark Chapman, Rachin Ravindra, Henry Shipley, Matt Henry, Ish Sodhi, Blair Tickner

කාළගුණය

දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුවද තෙවැනි එක්දින තරගය සදහා වර්ෂාවෙන් කිසිදු බලපෑමක් එල්ල නොවනු ඇති බවටයි කාළගුණ අනාවැකි පලව ඇත්තේ.

Leave a comment