Ultimate magazine theme for WordPress.

එංගලන්තය 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට

ඩේවිඩ් මලාන්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි 20යි 20 ක්‍රිකට් තරගයෙන් ද කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

කේප් ටවුන්හි පැවැති මෙම තරගය වාර්තා කිහිපයක්ම අලුත් කරමින් නිමාවට පත්වීම ද විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ක්වෙන්ටන් ඩී කොක් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 191 ක් ලබා ගනිමින්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් වැන් ඩර් ඩුසේන් පන්දු 32 කදී නොදැවී ලකුණු 74 ක් රැස් කළා.

ඔහුගේ එම ඉනිමට හයේ පහරවල් පහක් හා හතරේ පහරවල් පහක් ඇතුලත්ව තිබුණා.

එය ඔහු වාර්තා කළ වේගවත්ම ජාත්‍යන්තර 20යි 20 අර්ධ ශතකය ලෙස වාර්තා අතරට එක් වූ අතර, දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු වාර්තා කළ තෙවැනි වේගවත්ම 20යි 20 අර්ධ ශතකය ද එය වනවා.

ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 37 කදී නොදැවී ලකුණු 52 යි.

ඔවුන් දෙදෙනා අතර 4 වන කඩුල්ලට නොබිදුණු ලකුණු 127ක සබදතාවයක් ගොඩ නැගුණු අතර, එය සිව්වන කඩුල්ලට වාර්තා වූ 20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළම සබදතාවයයි.

පන්දු යැවීමෙදී බෙන් ස්ටෝක්ස් කඩුලු 2 ක් බිඳ හෙලීමට සමත් වෙද්දී ක්‍රිස් ජෝඩන් පන්දුවාර 4 ක් යොමු කරමින් ලකුණු 42 ක් ලබා දී එක් කඩුල්ලක් දවාගැනීමට සමත් වුණා.

ජොෆ්රා ආචර්ට එකදු කඩුල්ලක් බිඳ හෙලීමට අවස්ථාවක් නොලැබුණු අතර ඔහු යොමු කළ පන්දුවාර හතර තුළ ලකුණු 44 ක් ප්‍රතිවාදීන් රැස් කර ගත්තා.

අවසන් පන්දුවාර 5 තුළ ලකුණු 84 ක් වාර්තා කිරීමට වැන් ඩර් ඩුසේන් සමගින් ඩු ප්ලෙසිස් සමත් වී තිබීම ද විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර17.4ක් අවසානයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් මලාන් පන්දු 47කින් නොදැවී ලකුණු 99ක් රැස් කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 11ක් ඉනිමට එක්කරමින්.

ඔහුට අනගි සහායක් ලබා දුන් ජොස් බට්ලර් නොදැවී ලකුණු 67 ලබා ගත්තා.(6×5, 4×3)

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 167ක සබදතාවයක් ගොඩ නැගුණු අතර, එය 20යි 20 ඉතිහාසයේ දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ඉහළම සබදතාවයයි.

පන්දු යැවීමේ දී Anrich Nortje එක් කඩුල්ලක් බිද හෙලුවා.

ටබ්රයිස් ශම්සි යොමු කළ පන්දුවාර 4ට ප්‍රතිවාදීන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 57ක්.

මෙම ජයත් සමග 20ය 20 තරගාවලිය තරග 3-0ක් ලෙස එංගලන්තය ජය ගත් අතර, ඔවුන් 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දක්වා පියවරක් ඉදිරියට ද පැමිණියා.

මෙතෙක් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

Leave a comment