Ultimate magazine theme for WordPress.

අමෙරිකානු ක්‍රීඩිකාවගේ කඩුලු 5 දිල්ලියට ජය ගෙන එද්දී, හැරිස්ගේ ප්‍රහාරය වොරියර්ස් පිලට ජය ගෙනෙයි

ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ පැවැති තරගවලින් ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් හා යූපී වොරියර්ස් කාන්තා කණ්ඩායම් සමත් වුණා.

ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමයි.

තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 223 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා. ෂෆාලි වෙර්මා පන්දු 45 කින් වේගවත් ලකුණු 84 ක් හා නායිකා මැග් ලෙනින් පන්දු 43 කින් ලකුණු  72 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී හෙදර් නයිට් ලකුණු 40 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163 ක් පමණයි. ස්ම්රිති මන්දනා ලකුණු 35 ක්, හෙදර් නයිට් ලකුණු 34 ක් හා එලිස් පෙරි ලකුණු 31 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දිල්ලි පිල වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ටාරා නොරිස් ලකුණු 29 කට කඩුලු 5 ක් දවා ගනිමින් WPL තරගාවලි ඉතිහාසයේ දී ඉනිමක කඩුලු 5 ක් බිද හෙලූ පළමු ක්‍රීඩිකාව බවට පත් වුණා. (දර්ශන පහතින්). ඒ අනුව මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයෙන් දිල්ලි පිලට ලකුණු 60 ක ජයක් හිමි වුණා.

මේ අතර, තරගාවලියේ තෙවැනි තරගයෙන් ගුජරාට් කණ්ඩායම පරදා කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට යූපී වොරියර්ස් කණ්ඩායම සමත් වුණා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 169 ක් රැස් කළා. Harleen Deol ලකුණු 46 යි. පන්දු යැවීමේ දී දීප්ති ෂර්මා හා Sophie Ecclestone කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වොරියර්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබිය දී තරගයේ ජය පසු කර ගියේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

Kiran Navgire ලකුණු 53 ක් ලබා ගත් අතර, Grace Harris පන්දු 26 කින් නොදැවී ලකුණු 59 ක් රැස් කරමින් සිය කණ්ඩායම අවසන් මොහොතේ ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී Kim Garth ලකුණු 36 කට කඩුලු 5 ක් දවා ගත්තා.

Leave a comment