Ultimate magazine theme for WordPress.

“අපි එංගලන්තයෙන් ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්නේ නැහැ” – මිස්බා

කොරෝනා වසංගත අර්බුදය මධ්‍යයේ එංගලන්තයේ සංචාරයක නිරත වීමට තීරණය කර ඇතත්, ඒ සදහා ප්‍රතිඋපකාරයක් එංගලන්තයෙන් බලාපොරොත්තු නොවන බව පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් පවසනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග අත්හිටුවීමෙන් පසුව ලබන මාසයේ දී ජාත්‍යන්තර තරග යළි ආරම්භ වීමට නියමිතව ඇත්තේ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියත් සමගයි.

අනතුරුව පාකිස්තානය ද ටෙස්ට් තරග 3කට සහ 20යි 20 තරග 3කට ක්‍රීඩා කිරීම සදහා එංගලන්තය වෙත පැමිණීමට නියමිත නමුත්, අගෝස්තු 5 වනදා ආරම්භ වන අදාළ තරගාවලියන්හි තරග කාලසටහන මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ජාත්‍යන්තර කණ්ඩායම් පාකිස්තානයේ තරග සංචාරවල නිරත වීමට අකමැත්තක් දැක් වූ නමුත්, මෑතකදී කණ්ඩායම් කිහිපයක්ම එරට සංචාරවල නිරත වුණා.

කෙසේ වෙතත්, බොහෝ කණ්ඩායම් තවදුරටත් එරට තරග සංචාරවල නිරත වීමට කැමැත්තක් දක්වන්නේ නැහැ.

එංගලන්තය ද අවසන් වරට පාකිස්තානයේ තරග සංචාරයක නිරත වී ඇත්තේ 2005 වසරේ දී යි.

ඒ අනුව කොරෝනා වසංගත අර්බුදයෙන් එංගලන්තය පීඩාවට පත්ව ඇති මේ මොහොතේ එංගලන්ත සංචාරයක නිරත වීමට පාකිස්තානය තීරණය කර ඇත්තේ ප්‍රතිඋපකාරයක් ලෙස එංගලන්ත කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කරනු ඇතැයි යන විශ්වාසය මතද?

කෙසේ වෙතත්, පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු සහ තේරීම් කමිටු සභාපතිවරයා වන මිස්බා උල් හක් එය ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දෙන්නේ මෙම අවස්ථාවේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය අවධානය යොමු කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් පමණක් බවයි.

“අපි එංගලන්තයට පැමිණෙනවා කියලා ඒ සදහා එංගලන්තයෙන් ප්‍රතිඋපකාරයක් බලාපොරෝත්තු වන්නේ නැහැ.”

යනුවෙන් මිස්බා උල හක් සදහන් කළා.

“ඇත්තෙන්ම අපි කිසිවක් ආපසු බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් සමස්තයක් ලෙස අපිට අවශයයි එංගලන්තය පමණක් නොවෙයි සියලුම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් එකිනෙකාට උපකාර කර ගැනීමක්. ඒ විදිහට ක්‍රීඩාව දියුණු කළ හැකියි. විවිධ රටවල් පාකිස්තානයේ තරග සංචාර ආරම්භ කිරීම පාකිස්තානයේ ක්‍රීඩාලෝලීන්ට වගේම පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවටත් වැදගත්.”

කොරෝනා වසංගතයත් සමග තරගාවලි රැසක් ක්‍රීඩා කිරීමට නොහැකි වීම හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයකට ලක්ව සිටීම නිසා එළඹෙන කොදෙව් තරගාවලිය සහ පාකිස්තාන තරගාවලිය ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කර ගැනීම සදහා අතිශය වැදගත් වනු ඇති.

Leave a comment