Ultimate magazine theme for WordPress.

“අපට පාකිස්තානයේ රැදී සිටිය හැකි ක්‍රමයක් තිබුණේ නැහැ” – නවසීලන්ත ක්‍රිකට් ප්‍රධාන විධායක

ලැබුණු උපදෙස් අනුව නවසීලන්ත කණ්ඩායමට පාකිස්තානයේ රැදී සිටිය හැකි ක්‍රමවේදයක් නොපැවතුණු බව නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඩේවිඩ් වයිට් පවසනවා.

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ පළමු එක්දින තරගය ආරම්භ වීමට මිනිත්තු කිහිපයකට පෙර ආරක්ෂාව පිළිබද ගැටලුවක් මත තරග සංචාරය අවලංගු කිරීමට නවසීලන්තය ගත් තීරණය සම්බන්ධයෙන් යළිත් පැහැදිලි කිරීමක් සිදු කරමින් ඔහු ඒ බව සදහන් කළා.

නවසීලන්ත ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් 34 දෙනා මේ වන විට ඉස්ලාමාබාද් නුවර සිට ඩුබායි නුවර වෙ‍ත විශේෂ ගුවන් යානයකින් ළගා වී තිබෙනවා.

එහිදී ඔවුන් පැය 24ක ස්වයං නිරෝධායන කාලසීමාවක් සිය හෝටල් කාමර තුළ ගත කිරීමට නියමිතයි.

ගුවන් ගමන් හා නවසීලන්තයේ දී නිරෝධායනයට ලක් වීමේ පහසුකම් සකස් වීමෙන් අනතුරුව ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු ඉදිරි දින කිහිපයේ දී යළි නවසීලන්තය වෙත පිටත්ව යනු ඇති.

ඉතිරි 10 දෙනා ඩුබායි හී දී රැදී සිටින්නේ නවසීලන්ත ලෝක කුසලාන 20යි 20 සංචිතය සමග එක් වීමේ අරමුණින්.

“මට කිව හැකි දෙය නම් මෙය කණ්ඩායමට එරෙහි නිශ්චිත හා විශ්වාසදායක තර්ජනයක් බවට අපට උපදෙස් දුන් බවයි.” යනුවෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා සදහන් කළා.

“තීරණය ගැනීමට පෙර අප විසින් නවසීලන්ත රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වනු ලැබුවා. අපේ ස්ථාවරය පිළිබඳ පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දීමෙන් පසුවයි අගමැතිවරුන් අතර දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව අපට වැටහුණේ.”

“අවාසනාවකට මෙන්, අපට ලැබුණු උපදෙස් අනුව අපට රට තුළ සිටීමට ක්‍රමයක් තිබුණේ නැහැ.”

“සිකුරාදා සියල්ල වෙනස් වුණා, උපදෙස් වෙනස් වුණා, තර්ජන මට්ටම වෙනස් වුණා, එහි ප්‍රතිඵලයක් ලෙස ගත හැකි එකම වගකිවයුතු ක්‍රියාමාර්ගය අපි ගත්තා.”

කෙසේ වෙතත්, පාකිස්තාන තරග සංචාරය අවසන් මොහොතේ අවලංගු කිරීමට නවසීලන්තය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඇතුළු පාර්ශව රැසකින් නවසීලන්තයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වුණා.

නවසීලන්තය ගත් එම තීරණය හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ එළඹෙන පාකිස්තාන තරග සංචාරය ද මේ වන විට ඇත්තේ අවධානම් තත්ත්වයකයි.

Leave a comment