හොංකොං 38 කට දවා ගනිමින් වාර්තාගත ජයක් සමග පාකිස්තානය සුපිරි 4ට
Match Report

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානය අද(2) සමත් වුණා.
ඒ, තරගාවලියේ මූලික වටයේ 6 වැනි තරගය හෙවත් අවසන් තරගයෙන් හොංකොං කණ්ඩායම පරදා ලකුණු 155 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.
එය පාකිස්තාන කණ්ඩායම 20යි 20 ජාත්‍යන්තර තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.
ඒ අනුව ‘A’ කාණ්ඩයෙන් ඉන්දියාව හා පාකිස්තානයත්, ‘B’ කාණ්ඩයෙන් ඇෆ්ඝනිස්තානය හා ශ්‍රී ලංකාවත් සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලැබූ අතර, හොංකොං හා බංග්ලාදේශ යන කණ්ඩායම්වලට තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා.
සාජාහී දී පැවැති මූලික වටයේ 6 වැනි තරගයේ කාසියේ වාසිය දිනූ හොංකොං කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 2 ක් දැවී ලකුණු 193 ක් ලබා ගනිමින්.
පළමු පන්දුවාර 10 තුළ දී ඔවුන් කඩුල්ලක් දැවී ලබා සිටියේ ලකුණු 64 ක් පමණයි. අවසන් පන්දුවාර 10 තුළ දී පාකිස්තානය කඩුල්ලක් දැවී ලකුණු 129 ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙණුනා.
නායක බාබර් අසාම් ලකුණු 9 කට දැවී ගියා. ෆකාර් සමාන් ලකුණු 53(41)යි. ඉනිමේ නැංගුරම බවට පත් වූ ආරම්භක පිතිකරු මොහමඩ් රිස්වාන් පන්දු 57 කින් හයේ පහරක් හා හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 78 ක් ලබා ගත්තා. සමාන් හා රිස්වාන් අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 116(81) ක්.
කුෂ්දිල් ශාහ් පන්දු 15 කින් නොදැවී ලකුණු 35 ක් රැස් කළා. ඒ, හයේ පහර 5 ක් ද සමගින්.
පන්දු යැවීමේ දී එහ්සාන් ඛාන් ලකුණු 28 කට කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං කණ්ඩායමට පන්දුවාර 10.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 38 ක් පමණයි.
කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.
පන්දු යැවීමේ දී ශඩාබ් ඛාන් ලකුණු 8කට කඩුලු 4 ක් දවා ගත් අතර, මොහමඩ් නවාස් ලකුණු 5 කට කඩුලු 3ක් බිද හෙලුවා.
ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ තරග හෙට(3) ආරම්භ වන අතර, පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතරයි.
එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට සාජා හී දී ආරම්භ වීමට නියමිතයි.