Ultimate magazine theme for WordPress.

හිටපු සුපිරි පන්දු යවන්නන් දෙදෙනෙකුට පාකිස්ථානයේ පුහුණුකරු ධූරයන්

පාකිස්තාන හිටපු ක්‍රීඩකයින් වන උමාර් ගුල් හා සයීඩ් අජ්මාල් එරට ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවන් ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ගුල් විසින් වේග පන්දු යැවීමේ පුහුණුකරු ධූරයත්, අජ්මාල් විසින් දග පන්දු යැවීමේ පුහුණුකරු ධූරයත් දැරීමට නියමිතයි.

උමාර් ගුල් 2003 වසරේ සිට 2016 වසර දක්වා පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 47ක්, එක්දින තරග 130 ක් හා 20යි 20 තර 60 ක් ක්‍රීඩා කර තිබූ අතර, එහිදී පිළිවෙලින් කඩුලු 163 ක්, කඩුලු 179 ක් හා කඩුලු 85 ක් දවා ගැනීමට සමත් වුණා.

2020 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට ගත් තීරණයෙන් පසුව ඔහු පුහුණුකරුවෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ අතර, 2021 වසරේ දී Quetta Gladiators කණ්ඩායමේ ද, 2022 වසරේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ද පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.

අනතුරුව 41 හැවිරිදි උමාර් ගුල් පාකිස්තාන කණ්ඩායමේ ද පන්දු යැවීමේ දී පුහුණුකරු ලෙස තරගාවලි කිහිපයකදී කටයුතු කර තිබුණා.

එක්දින ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ පන්දු යවන්නා බවට පත්ව සිටි සයීඩ් අජ්මාල් මීට පෙර Islamabad United කණ්ඩායමේ පන්දු යැවිමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබුණා.

ක්‍රීඩකයෙකු ලෙස ටෙස්ට් තරග 35 කදී, එක්දින තරග 184 කදී හා 20යි 20 තරග 64 කදී පාකිස්තානය නියෝජනය කළ ඔහු 2017 වසරේ දී ක්‍රිකට් පිටියට සමු දුන්නේ ජාත්‍යන්තර කඩුලු 447 ක් දවා ගනිමින්.

ඔවුන් දෙදෙනාගේ පළමු වගකීම බවට පත් වන්නේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයයි.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානයට නොහැකි වීමත් සමග එරට ජාතික කණ්ඩායමේ බළධාරීන් රැසකගේ වෙනසක් සිදු කිරීමට පාකිස්තාන ක්‍රිකට් අයතනය පියවර ගත්තා.

ඒ අනුව නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස වහබ් රියාස් ද, කණ්ඩායම් අධ්‍යක්ෂවරයා ලෙස මොහමඩ් හෆීස් ද පත් කෙරුණා. එළඹෙන ඔස්ට්‍රේලියානු හා නවසීලන්ත සංචාරවලදී කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ද මොහමඩ් හෆීස්.

පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට බාබර් අසාම් පියවර ගැනීමත් සමග 20යි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස ශහීන් අෆ්රිඩි ද, ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශාන් මසූඩ් ද පත් කිරීමට මීට පෙර පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කළා.