Ultimate magazine theme for WordPress.

හසරංග නවතම PCR පරීක්ෂණයෙන් සමත් වෙද්දී තවත් දෙදෙනෙක් ශ්‍රී ලංකා සංචිතයට කැදවීමේ සූදානමක්

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග තමා මුහුණ දුන් නවතම PCR පරීක්ෂණයෙන් සමත්ව (negative) තිබෙනවා.

ඒ අනුව ඔහු ඔස්ට්‍රේලියාවේ සිට මේ වන විට යළි ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටින බව සදහන්.

ඊට අදාළ ඡායාරූපයක් ද වනිදු හසරංග විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුර දී ඔහුට පළමු වරට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පසුගිය 15 වැනිදා හදුනා ගෙන තිබූ අතර, අනතුරුව ඔහුට දින 7ක කාලයක් හුදෙකලා වී සිටීමට ද සිදු වුණා.

ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියාව සමග පැවැති අවසන් 20යි 20 තරග 3 ක්‍රීඩා කිරීමට ද වනිදුට හැකි වූයේ නැහැ.

දින 7ක කාලයක් හුදෙකලා වී සිටීමෙන් පසුව සිදු කෙරුණු PCR පරීක්ෂණවලින් ද තහවුරු වුණේ වෛරසය තවදුරටත් ඔහුගේ ශරීරිය තුළ පවතින බවටයි.

ඒ අනුව ඉන්දියාව සමග ඊයේ පැවැති පළමු 20යි 20 තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව වනිදුට අහිමි වුණේ ඔස්ට්‍රේලියාවෙන් පිටත්ව ඒමට ඔහුට නොහැකි වූ බැවින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ දෙවැනි හා තෙවැනි 20යි 20 තරග හෙට(26) හා අනිද්දා යන දිනවලදී පැවැත්වීමට නියමිතව ඇතත්, ඒ සදහා ක්‍රීඩා කිරීමට ප්‍රමාණවත් කාලයක් මේ වන විට නොපවතින බැවින් වනිදු යළි ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර, ඉන්දියාව සමග පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින් මේ වන විට ඉන්දියාව වෙත පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ඉන් නිරෝෂන් දික්වැල්ල හා ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා 20යි 20 සංචිතයට සම්බන්ධ කර ගැනීම සදහා ද මේ වන විට අවධානය යොමුව ඇති බව සදහන්.

ඔවුන්ගේ නිරෝධායන කාලය මෙතෙක් අවසන්ව නොමැති බැවින් ඊට ඉන්දියාවෙන් අවසර හිමිව නොමැති නමුත්, තවදුරටත් ඒ වෙනුවෙන් සාකච්ඡා සිදු වෙමින් පවතින බවයි වාර්තා වුණේ.