හර්ෂිතා – නිලක්ෂි ශතක සම්බන්ධය ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ දෙවැනි ජය ගෙනෙයි
Match Report
ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණි හර්ෂිතා සමරවික්‍රම හා මැද පෙල පිතිකාරීණී නිලක්ෂි ද සිල්වා ප්‍රදර්ශනය කළ සටන්කාමී පිතිහරඹය හමුවේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 2023 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙරට වේලාවෙන් අද(13) අලුයම සමත් වුණා.
තරගය ජය ගැනීම සදහා ලකුණු 127 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී යි ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ.
ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 25 ක් තුළ දැවී ගියා. චමරි අතපත්තු ලකුණු 15 යි. විශ්මි ගුණරත්න එක් ලකුණකට දැවී ගිය අතර, අනුෂ්කා සංජීවනී පළමු පන්දුවෙන්ම දැවී ගියා.
අනතුරුව සිව්වැනි කඩුල්ල සදහා හර්ෂිතා සමරවික්‍රම හා නිලක්ෂි ද සිල්වා පන්දු 79 කින් නොබිදුණු ලකුණු 104 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයක් කරා රැගෙන ගියා.
හර්ෂිතා පන්දු 50 කින් නොදැවී ලකුණු 69 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 8 ක් සමගින්. නිලක්ෂි නොදැවී ලකුණු 41 (38) යි.
පන්දු යැවීමේ දී Marufa Akter ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගත්තා.
කේප් ටවුන් හි Newlands ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 126 ක් රැස් කළා.
Sobhana Mostary ලකුණු 29 ක් ද, Nigar Sultana ලකුණු 28 ක් ද, Shamima Sultana ලකුණු 20 ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 23 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. චමරි අතපත්තු ලකුණු 19 කට කඩුලු 2ක් බිද හෙලුවා.
මෙම ජයත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු කාණ්ඩයේ පෙරමුණට පැමිණියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින්.