සෝනි හා නවසීලන්ත ක්‍රිකට් ආයතනය අතර කෝටි 3,000 ක ගිවිසුමක්

Sony Pictures Networks India (SPNI) සමාගම හා නවසීලන්ත ක්‍රිකට් ආයතනය අතර වසර හතක ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව එම වසර හතක කාලයට ඇතුළත් නවසීලන්තයේ පැවැත්වෙන සියලු ජාත්‍යන්තර ක්‍රිකට් තරග (පිරිමි හා කාන්තා) ඉන්දියාව හා ඒ ආශ්‍රිත රටවල් තුළ විකාශය කිරීමේ අයිතිය හිමිව ඇත්තේ සෝනි සමාගමටයි.
2024 වසරේ මැයි පළමු වැනිදා සිට 2031 වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලයට අදාළව මෙම ගිවිසුම අත්සන් තබා ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ඉන්දීය කණ්ඩායම 2026-27 හා 2030-31 තරගවාරවලදී නවසීලන්තයේ තරග සංචාරවල නිරත වීමට නියමිතව ඇති අතර, ඒ අනුව එම තරගාවලි ඉන්දියාවේ විකාශය කිරීමේ හිමිකම ද සෝනි සමාගම සතුවනවා.
ශ්‍රී ලංකාව, එංගලන්තය හා පාකිස්තානය 2024-25 තරග වාරයේ දී නවසීලන්තයේ තරග සංචාරවල නිරත වීමට නියමිත අතර, නව ගිවිසුම ප්‍රකාරව එම තරගාවලි ද ඉන්දියාව හා ඒ ආශ්‍රිත රටවල්වල විකාශය කරනු ලබන්නේ සෝනි සමාගමයි.
සෝනි සමාගම සතු නාලිකා හරහා රූපවාහිනී විකාශන කටයුතු සිදු කිරීමට නියමිත අතර, ඩිජිටල් විකාශන කටයුතු Sony LIV හරහා සිදු කිරීමට නියමිතයි.
මේ වන විට නවසීලන්තයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි ඉන්දියාව තුළ විකාශය කරන්නේ Amazon Prime හරහායි. ඔවුන් හා නවසීලන්ත ක්‍රිකට් ආයතනය අතර ඇති ගිවිසුම මෙවර තරගවාරයෙන් අවසන් වනවා.
සෝනි සමාගම විසින් 2024-25 හා 2025-26 තරගවාර සදහා සිය ඩිජිටල් විකාශන කටයුතු Amazon Prime සමග සමගාමීව සිදු කිරීමට නියමිතව ඇති බව ද සදහන්.
මෙම වසර හතක ගිවිසුමෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3,027 ක පමණ වටිනාකමක් වනවා.
ඉන්දීය වෙළදපොල වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග ද විකාශන ගිවිසුම් අත්සන් තබා ඇත්තේ සෝනි සමාගමයි.