සුපිරි හඹා යමකින් නවසීලන්තය පුහුණු තරගය ජය ගනියි
Match Report

අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණු තරග යටතේ අද(29) පාකිස්තානය සමග පැවැති තරගයෙන් සුපිරි හඹා යාමක් සමග කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
තරගය ජය ගැනීමට ලකුණු 346 ක දැවැන්ත ඉලක්කයක් නවසීලන්තයට හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 43.4 ක් අවසානයේ කඩුලු 5ක් දැවී පසු කර ගියා.
රචින් රවීන්ද්‍ර ලකුණු 97(72) ක් රැස් කළ අතර, ආබාධයකින් පසුව යළි තරග බිමට පිවිසි කේන් විලියම්සන් ලකුණු 54 ක් හා ඩැරල් මිචෙල් ලකුණු 59 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළා.
මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 65 ක් හා ජේම්ස් නීෂම් ලකුණු 33 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී උසාමා මීර් කඩුලු 2 ක් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් මොහමඩ් රිස්වාන් ලකුණු 103(94) ක් රැස් කළා. නායක බාබර් අසාම් ලකුණු 80 ක් ද, සවුද් ශකීල් ලකුණු 75 ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් කඩුලු 2 ක් බිද හෙලුවා.