Ultimate magazine theme for WordPress.

සුපිරි සටනකින් පසු තියුණු ජයක් ලැබූ ලක්නව් කණ්ඩායම අවසන් වටයට

Match Report

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, බදාදා(18) රාත්‍රියේ පැවැති මෙවර තරග වාරයේ 66 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කරමින්.

මේ වන විට ලක්නව් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා. මූලික වටයේ දී කණ්ඩායමක් ක්‍රීඩා කරන තරග 14ම ක්‍රීඩා කර ඇති ඔවුන් එහිදී තරග 9ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 18ක් හිමි කර ගෙන තිබෙනවා.

මෙම තරගයෙන් පරාජයට පත් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

තරග 14කදී ප්‍රසාද ලකුණු 12කට හිමිකම් කියන ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති මෙවර තරග වාරයේ 66 වැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 210ක් ලබා ගනිමින්.

එය අයි.පී.එල් ඉතිහාසයේ දී ආරම්භක කඩුල්ල සදහා වාර්තා වූ ඉහළම ලකුණු සබදතාවයයි.

සුපිරි ශතකයක් වාර්තා කළ ක්වෙන්ටන් ඩී කොක් පන්දු 70කින් වේගවත් ලකුණු 140ක් නොදැවී ලබා ගත්තා. හයේ පහර හා හතරේ පහර 10 බැගින් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

නායක කේ.එල් රාහුල් ද ඔහුට අනගි සහායක් ලබා දෙමින් පන්දු 51කින් නොදැවී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 208ක් පමණයි.

නායක ෂ්රෙයස් අයියර් ලකුණු 50(29)ක් ද, නිටිෂ් රානා ලකුණු 42(22)ක් ද වාර්තා කළා. සෑම් බිලින්ග්ස් ලකුණු 36(24)යි.

කොල්කටා නයිට් රයිඩර්ස් පිල තරගයේ ජයග්‍රහනය ආසන්නයට රැගෙන ගිය රින්කු සිං පන්දු 15ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 40ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සමගින්.

හයේ පහර 3ක් එල්ල කළ සුනිල් නරේන් පන්දු 7කින් නොදැවී ලකුණු 21ක් රැස් කළා.

තරගය ජය ගැනීම සදහා කොල්කටා පිලට අවසන් පන්දුවාරයේ දී ලකුණු 21ක් ලබා ගත යුතු වුණා. මර්කස් ස්ටොයිනිස් යොමු කළ අවසන් පන්දුවාරයේ පළමු පන්දු 4ට හයේ පහර 2ක් හා හතරේ පහරක් ද සමගින් ලකුණු 18ක් රැස් කිරීමට රින්කු සිං සමත් වීම කැපී පෙනුණා.

ඒ අනුව අවසන් පන්දු දෙකේ දී තරගය ජය ගැනීම සදහා ලකුණු 3ක් පමණක් අවශ්‍ය වූ නමුත්, එම පන්දු දෙකේ දී රින්කු සිං හා උමේෂ් යාදව් දවා ගනිමින් තරගයේ ජය ලක්නව් කණ්ඩායමට හිමි කර දීමට ස්ටොයිනිස් සමත් වුණා.

තීරණාත්මකම කඩුල්ල වූ රින්කු සිං දවා ගැනීම සදහා එවින් ලුවිස් විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගැනීම ද විශේෂත්වයක්.(වීඩියෝ දර්ශන පහතින්)

මෙම තරගය සදහා ලක්නව් කණ්ඩායමේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ක්‍රීඩා කළේ නැහැ.

අවසන් පන්දු දෙකේ වීඩියෝ දර්ශන පහතින් –