සුපිරි තරගයකින් පසු සුපිරි පන්දුවාරයේ දී ගෝල් ටයිටන්ස් කණ්ඩායම ජය ගනියි
Match Report
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් දඹුල්ල අවුරා කණ්ඩායම පරදා සුපිරි පන්දුවාරයේ දී ජය වාර්තා කරමින් මෙවර තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම අද(31) සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ගෝල් ටයිටන්ස් කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 180 ක් ලබා ගනිමින්.
හයේ පහර හා හතරේ පහර දෙක බැගින් එල්ල කරමින් ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියල් ලකුණු 33(26) ක් රැස් කළා. ඔහුගේ ආරම්භක සගයා වූ ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 3 කට දැවී ගියා.
භානුක රාජපක්ෂ ලකුණු 48 ක් රැස් කළේ පන්දු 34 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ටිම් සයිෆර්ට් ලකුණු 14 (17) කට දැවී ගිය අතර, ශකිබ් අල් හසාන් ලකුණු 23 (14) යි.
ඉනිමට සුපිරි අවසානයක් හිමි කර දුන් දසුන් ශානක පන්දු 21 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 42 ක්. ඔහුගේ ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුණා. ලහිරු සමරකෝන් නොදැවී ලකුණු 7යි.
පන්දු යැවීමේ දී ශහ්නවාස් ධහානි කඩුලු 2 ක් දවා ගත් අතර, බිනුර ප්‍රනාන්දු හා ධනංජය ද සිල්වා අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට ද පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 180 ක් පමණයි.
අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් මෙන්ඩිස් ලකුණු 1 බැගින් ලබා සිටියදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා. අනතුරුව ධනංජය ද සිල්වා හා කුසල් පෙරේරා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 (48) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.
කුසල් පන්දු 25 කින් ලකුණු 40 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 4 ක් සමගින්. ධනංජය ද සිල්වා ලකුණු 43 (31) යි. හයේ පහරක් හා හතරේ පහර 5ක් ධනංජයගේ ඉනිමට ඇතුළත්. එම කඩුලු දෙකම දවා ගත්තේ දසුන් ශානක විසින්.
සධීර සමරවික්‍රම හා රවිදු ප්‍රනාන්දු ලකුණු 13 බැගින් ලබා සිටියදී දැවී ගියා. Hayden Kerr පන්දු 10 කින් ලකුණු 20 ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහනය පිළිබද අවසන් මොහොතේ බලාපොරොත්තුවක් ගෙන ඒමට සමත් වුණා.
සිය කණ්ඩායම තරගය පරාජය වීමේ අවධානමෙන් ගලවා ගනිමින් සුපිරි පන්දුවාරයක් කරා තරගය රැගෙන යාමට Alex Ross සමත් වුණේ පන්දු 28 කින් ලකුණු 39 ක් නොදැවී රැස් කරමින්. හයේ පහරක්, හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.
පන්දු යැවීමේ දී දසුන් ශානක ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත් අතර, කසුන් රාජිත කඩුලු 2 ක් බිද හෙලුවා.
අනතුරුව තරගයේ ජයග්‍රාහකයා තේරීම සදහා ලබා දුන් සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස ගාල්ල කණ්ඩායම නීත්‍යානුකූල පන්දු දෙකක් අවසානයේ ජයග්‍රහනය තහවුරු කර ගත්තේ ලකුණු 11 ක් ලබා ගනිමින්. පළමු පන්දුවට හතරේ පහරක් හා දෙවැනි නීත්‍යානුකූල පන්දුවට හයේ පහරක් එල්ල කරමින් භානුක ගාලු කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා.
— CricDaily24 (@cricday96) July 31, 2023