Ultimate magazine theme for WordPress.

සිව්කොන් තරගාවලියකට පාකිස්තානය ගෙන ආ යෝජනාවට අයි.සී.සීය බෑ කියයි

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා විසින් ඉදිරිපත් කළ සිව්කොන් ක්‍රිකට් තරගාවලියකට අදාළ යෝජනාවට ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) අවසර හිමිව නොමැති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

එම යෝජනාව ඉතා හොද යෝජනාවක් ලෙස ඉරිදා(10) නිමා වූ අයි.සී.සී රැස්වීමේ දී පිළිගෙන ඇති නමුත්, එය ප්‍රායෝගික නොවන බවයි අයි.සී.සීයේ මතය වී ඇත්තේ.

මේ වන විට අයි.සී.සීයේ ඉදිරි තරග කාලසටහන (FTP) තුළ එවැනි නව තරගාවලියක් සංවිධාන කිරීම සදහා අවශ්‍ය ඉඩ නොපවතින බව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අයි.සී.සී රැස්විමේ දී සාකච්ඡාවට ලක්ව තිබූ බව සදහන්.

අදාළ සිව්කොන් තරගාවලිය පාකිස්තානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය සම්බන්ධ කර ගනිමින් පැවැත්වීමටයි පාකිස්තානය යෝජනා කර තිබුණේ.

නමුත්, එහිදී අයි.සී.සීය පෙන්වා දී තිබූ තවත් කරුණක් වූයේ එම රටවල් 4ට ඇතුළත් නොවන සෙසු රටවල් අදාළ යෝජනාවට කැමැත්තක් නොදක්වන බවයි.

මේ වන විට පවතින අයි.සී.සී නීති ප්‍රකාරව ක්‍රිකට් ආයතනවලට සංවිධාන කළ හැකි වන්නේ ද්විපාර්ශ්වික තරගාවලි හැරුණු විට තුන් කොන් තරගාවලි පමණයි.