සිම්බාබ්වේ පිලට පැරදුණු කොදෙව් කණ්ඩායමට අයි.සී.සීයෙනුත් දඩුවම්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 60% ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.
ඒ, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (24) පැවැති තරගයේ දී නියමිත කාලය තුළ දී පන්දුවාර සංඛ්‍යාව යවා නිමා නොකිරීම හේතුවෙන්.
කොදෙව් කණ්ඩායම නියමිත කාලය නිමා වන විට පන්දුවාර 3ක් පිටුපසින් සිට ඇති අතර, ඒ අනුව තරග තීරක Muhammad Javed විසින් මෙම දඩ නියම කිරීම සිදු කර ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.
කොදෙව් නායක ෂේයි හෝප් විසින් සිය කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරගයෙන් කොදෙව්වන් ලකුණු 35 ක පරාජයක් ලැබූ අතර, ඒ අනුව 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ කොදෙව් බලාපොරොත්තු ද මේ වන විට යම් අවධානමකට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත්, සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටය සදහා කොදෙව්වන් මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.