Ultimate magazine theme for WordPress.

සිංගප්පූරු ක්‍රීඩකයෙකුත් සහිතව RCB විදෙස් ක්‍රීඩකයන් 08 දෙනා සම්පූර්ණ වෙයි

ලොව ප්‍රමුඛතම විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යළි ආරම්භ වීමට තවත් ඇත්තේ සති කිහිපයක් පමණයි.

උත්සන්න වු කොවිඩ් 19 අර්බුදය හේතුවෙන් මෙවර තරගාවලිය අතරමගදී අත්හිටුවීමට මැයි මාසයේ දී පියවර ගැණුනු අතර, ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග එළඹෙන සැප්තැම්බර් මස 19 වනදා සිට එක්සත් අරාබී එමීර් රාජ්‍යයෙදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භයේදී කණ්ඩායම් සමග එකතු වී සිටි විදෙස් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු තරගාවලියේ ඉදිරි තරග සදහා සහභාගී නොවීමට මේ වන විට විවිධ හේතු නිසා තීරණය කිරීමත් සමග වෙනත් විදෙස් ක්‍රීඩකයන් පිළිබඳ අවධානය යොමු කිරීමට කණ්ඩායම් කළමණාකාරීත්වයට සිදුව තිබෙනවා.

ඒත් සමග මෙතෙක් අවස්ථාව නොලද විදෙස් ක්‍රීඩකයන් රැසකට ඉන්දීය ප්‍රිමියර් ලීගය නියෝජනය කිරීමේ වරම් හිමිවෙමින් පවතින බවට දක්නට ලැබෙනවා.

කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩක නියෝජනයකින් තොරව මෙවර තරගාවලිය ආරම්භ වූ අතර, එය වාර්තා වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩක නියෝජනයක් නොමැතිව පවත්වන ලද ඉතිහාසයේ ප්‍රථම IPL තරගාවලිය ලෙසයි.

කෙසේ නමුත් විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමේ මතු වූ විදෙස් ක්‍රීඩක පුරප්පාඩු සඳහා, වර්තමානයේ දක්ෂතා අතර සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළක් වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර එක් කර ගැනීමත් සමග මෙම තත්වය වෙනස්වී තිබෙනවා.

ඒ අනුව දැනටමත් ශ්‍රී ලංකා ක්‍රීඩක නියෝජනයන් දෙකක් මෙවර IPL තරගාවලියේදී දැකගන්නට ලැබෙනවා.

IPL කණ්ඩායමකට සිය සංචිතය සදහා විදෙස් ක්‍රීඩකයන් 08 දෙනෙකු මිලදී ගත හැකියි.

රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් ගණන අද(25) දිනයේ දී සම්පූර්ණ වී ඇත්තේ එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජෝර්ජ් ගාර්ටන් සමග ඔවුන් ගිවිසුම්ගත වීමත් සමගයි.

බැංගලෝර් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් අතරට සිංගප්පූරුවේ 25 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ටිම් ඩේවිඩ් ද සිටීම විශේෂත්වයක්.

ටිම් ඩේවිඩ් සිංගප්පූරු ජාතික කණ්ඩායම නියොජනය කරන අතර ඔහුගේ පියාද සිංගප්පූරු ජාතික කණ්ඩායම නියෝජනය කළ අයෙක්.

මෑතකදී නිමාවට පත් වූ The hundred තරගාවලියේ ශූරතාවය දිනාගත් සදර්න් බ්‍රේව් කණ්ඩායම ද ටිම් ඩේවිඩ් නියෝජනය කළා.

RCB කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් 08 දෙනා –

01. ඒ.බී. ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව), 02. ග්ලේන් මැක්ස්වෙල් (ඕස්ට්‍රේලියාව), 03. ඩැනියල් ක්‍රිස්ටියන් (ඕස්ට්‍රේලියාව) 04. වනිඳු හසරංග (ශ්‍රී ලංකාව) 05. දුෂ්මන්ත චමීර (ශ්‍රී ලංකාව) 06. කයිල් ජෙමීසන් (නවසීලන්තය) 07. ටිම් ඩේවිඩ් (සිංගප්පූරුව) 08. ජෝර්ජ් ගාර්ටන් (එංගලන්තය)

RCB කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය ක්‍රීඩකයන් –

01. විරාට් කෝලී (නායක) 02. දෙව්දත් පඩික්කල් 03. ශ්‍රිකර් බාර්ත් 04. මොහොමඩ් අසුරුදීන් 05. සචින් බේබී 06. රාජත් පතිදර් 07. හර්ශාල් පටෙල් 08. පවන් දේශ්පන්ඩේ 09. ශබාස් අහමද් 10. වොශින්ටන් සුන්දර් 11. මොහොමඩ් සිරාජ් 12. නව්දීප් සයිනී 13. සුයාශ් ප්‍රබුදේසායී 14. යුස්වේන්ද්‍ර චෙහෙල්

Leave a comment