Ultimate magazine theme for WordPress.

ස්මිත්ට පාකිස්තානයට එරෙහි සීමිත පන්දුවාර තරග අහිමි වෙයි

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත්ට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් වැලමිටෙහි හටගෙන ඇති සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ස්මිත් තරගාවලියට ක්‍රීඩා නොකළ ද, ඔහුව ආදේශ කිරීම සදහා ඔස්ට්‍රේලියානු සංචිතය සතුව ප්‍රමාණවත් පිතිකරුවන් සිටින බවටයි එරට තේරීම් කමිටුවේ අදහස වී ඇත්තේ.

ඒ අනුව තවදුරටත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීමේ අරමුණින් පා දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන් සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා නොකරන පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ්, මිචෙල් ස්ටක් හා ඩේවිඩ් වෝනර් සමගින් ස්ටීවන් ස්මිත් ද පාකිස්තානයෙන් පිටත්ව යාමට නියමිතව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය සතියේ දී විවාහ වූ ග්ලේන් මැක්ස්වෙල් ද පාකිස්තානයට එරෙහි සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

ස්ටීවන් ස්මිත් දීර්ඝ කාලයක සිට වම් වැලමිටෙහි අපහසුතාවයකින් පසුවන අතර, එය කළමනාකරණය කර ගනිමින් ඔහුව තරග සදහා සම්බන්ධ කර ගැනීමටයි එරට ක්‍රිකට් බළධාරීන් කටයුතු කරමින් සිටියේ.

ඔස්ට්‍රේලියා – පාකිස්තාන තරග 3කින් යුත් එක්දින තරගාවලිය එළඹෙන 29 වැනිදා ආරම්භ වන අතර, 20යි 20 තරගය අප්‍රේල් 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.

සියලු සීමිත පන්දුවාර තරග රාවල්පිනඩි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, පාකිස්තානයේ දේශපාලනික වාතාවරණය සැලකිල්ලට ගනිමින් එම තරග ලාහෝර් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි පසුගිය දා තීරණය කළේ.

Australia squad:

Aaron Finch (c), Sean Abbott, Ashton Agar, Jason Behrendorff, Alex Carey, Ben Dwarshuis, Nathan Ellis, Cameron Green, Travis Head, Josh Inglis, Marnus Labuschagne, Mitchell Marsh, Ben McDermott, Marcus Stoinis, Mitchell Swepson, Adam Zampa