ස්ටොක්ස් තවදුරටත් ඉවතට ; දෝනි ගැනත් ප්‍රකාශයක්
පාදයක ආබාධයකට ලක්ව සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට මෙවර අයි.පී.එල් තරගාවලියේ තවත් තරග 3ක් පමණ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඔහුට සිය ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබීම සදහා තවත් සතියක පමණ කාලයක් ගත වන බවයි චෙන්නායි කණ්ඩායමේ කලමනාකාරීත්වය පෙන්වා දෙන්නේ.
මෙවර තරගාවලිය සදහා ඔහුව චෙන්නායි කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 16.25 ක මිලකටයි.
මේ දක්වා ඔහු මෙවර තරග වාරයේ දී තරග 2ක් ක්‍රීඩා කර ඇති අතර, ආබාධය හේතුවෙන් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. ක්‍රීඩා කළ තරග දෙකේ දී ස්ටොක්ස් පිළිවෙලින් රැස් කළේ ලකුණු 7 ක් හා 8 ක් පමණයි. යොමු කරනු ලැබුවේ ද එක් පන්දුවාරයක් පමණයි.
මේ අතර, දණහිසක ආබාධයකට ලක්ව සිටින නායක මහේන්ද්‍ර සිං දෝනිට ගැටලුවකින් තොරව ඉදිරි තරග ද ක්‍රීඩා කිරීමට හැකි බවයි චෙන්නායි පිලේ කලමනාකාරීත්වය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ආබාධයක් සහිතව ක්‍රීඩා කළ ද, දෝනි මෙවර තරග වාරයේ දි මේ දක්වා ඉනිම් තුනකදී ලකුණු 58 ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ, 215 ක පමණ ප්‍රහාරාත්මක වේගයක් ද සටහන් කර ගනිමින්. නමුත්, ඔහුගේ කඩුලු අතර දිව යාම තරමක් මන්දගාමී ස්වරූපයක් ගෙන ඇති බව දක්නට ලැබෙනවා.