ස්ටාර්ස් හමුවේ දඹුල්ලට අන්ත පරාජයක් ; ජැෆ්නා කිංග්ස් පිලත් අවසන් වටයට
Match Report
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිට ලැබූ 5 වැනි පරාජය ද අත්විදීමට දඹුල්ල ඕරා කණ්ඩායමට අද(14) සිදු වුණා.
ඒ, තරගාවලියේ 14 වැනි තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හමුවේ කඩුලු 9ක දරුණු පරාජයක් ලැබීමත් සමගයි.
දඹුල්ල කණ්ඩායම ලැබූ මෙම පරාජයත් සමග ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මේ වන විට තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ද අද පස්වරුවේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 10 ක ජයක් ලබමින් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.
අද රාත්‍රියේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දඹුල්ල කණ්ඩායමට ලබා දුන්නා.
කෙසේ වෙතත්, දඹුල්ල ක්‍රීඩකයින් මෙම තරගයේ දී ද දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් පන්දුවාර 13.5 ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 89 ක් පමණයි.
දඹුලු ඉනිමේ පවර් ප්ලේ අවස්ථාව අවසන් වන විට ඔවුන් කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 54 ක්.
මෙම ඉනිමේ දී කසුන් රාජිත කඩුලු 5 ක් දවා ගත්තේ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 22 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.
ප්‍රමෝද් මදුෂාන් නොදැවී ලකුණු 23 ක් හා දසුන් ශානක ලකුණු 20 ක් රැස් කළා. ජෝර්ඩන් කොක්ස් ලකුණු 16යි.
කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඉනිමේ පළමු පන්දුවෙන්ම නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ ප්‍රමෝද් මදුෂාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.
කෙසේ වෙතත්, අනතුරුව දිනේෂ් චන්දිමාල් සමගින් පිටියේ එක් වූ චරිත් අසලංක පන්දුවාර 11.3 ක් තුළ සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. (90/1)
අසලංක පන්දු 36 කින් නොදැවී ලකුණු 58ක් රැස් කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. චන්දිමාල් නොදැවී ලකුණු 31 යි.