ස්ටක් හා මාෂ්ගේ සුපිරි දක්ෂතා හමුවේ කොදෙව්වන්ට ලකුණු 4ක පරාජයක්

ඇන්ඩ්‍රි රසල්ට එරෙහිව තරගයේ අවසන් පන්දුවාරයේ දී නිලකුණු පන්දු 5ක් පිට පිට යොමු කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි කර දීමට වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් අද(15) සමත් වුණා.
කෙසේ වෙතත්, දෙරට අතර පැවැති පළමු තරග 3 ජය ගත් කොදෙව්වන් මේ වන විටත් තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය 3-1ක් ලෙස ජය ගෙන අවසන්.
ශාන්ත ලුසියාහි පැවැති සිව්වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 189ක් ලබා ගත්තා.
පළමු තරග දෙකේදීම අර්ධ ශතක වාර්තා කළ මිචෙල් මාෂ් මෙම ඉනිමේ දී පන්දු 44කින් ලකුණු 75ක් රැස් කළේ හයේ පහර 6ක් හා හතරේ පහර 4ක් සමගින්.
නායක ආරෝන් ෆින්ච් ලකුණු 53(37)ක් හා ඩෑන් ක්‍රිස්ටියන් නොදැවී ලකුණු 22ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී හෙයිඩ්න් වොල්ෂ් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 185ක් පමණයි.
ලෙන්ඩ්ල් සිමන්ස් ලකුණු 72(48)ක් හා එවින් ලුවිස් ලකුණු 31(14)ක් ලබා ගත්තා.
ක්‍රිස් ගේල් එක් ලකුණකට දැවී ගිය අතර, ෆේබියන් ඇලන් ලකුණු 29ක් හා ඇන්ඩ්‍රි රසල් නොදැවී ලකුණු 24ක් රැස් කිරීමට සමත් වුණා.
ඉනිමේ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා කොදෙව්වන්ට ලකුණු 11ක් ලබා ගත යුතුව තිබූ අතර, මිචෙල් ස්ටක් යොමු කළ එම පන්දුවාරයට මුහුණ දුන්නේ ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩ්‍රි රසල්.
කෙසේ වෙතත්, ස්ටක් ඉතා විශිෂ්ඨ අන්දමින් එම පන්දුවාරය යොමු කළ අතර, පළමු පන්දු පහම සටහන් වූයේ නිලකුණු පන්දු ලෙසයි.
එම සෑම පන්දුවකටම වාගේ එක් ලකුණක් ලබා ගැනීමේ අවස්ථාව පැවතුණ ද ඇන්ඩ්‍රි රසල් එය ප්‍රතික්ෂේප කළේ කොදෙව්වන් ජයග්‍රහනය කරා රැගෙන යාමේ වගකීම සම්පූර්ණයෙන්ම තම කර මතට පවරා ගනිමින්.
කෙසේ වෙතත්, අවසන් පන්දුවේ දී පමණක් හයේ පහරක් එල්ල කිරීමට රසල්ට හැකි වූ බැවින් තරගය ජය ගැනීම සදහා කොදෙව්වන්ට තිබූ අනගි අවස්ථාවක් අහිමි වී ගියා.
පන්දු යැවීමේ දී මිචෙල් මාෂ් කඩුලු 3ක් හා ඇඩම් සම්පා කඩුලු 2ක් බිද හෙලුවා.