Ultimate magazine theme for WordPress.

ස්ටක් ශූරයින්ගේ කුසලානයෙන් ඉවත් වෙයි – ප්‍රබලයින් 5 දෙනෙකු නොමැති ඔස්ට්‍රේලියානු සංචිතය නිවේදනය කෙරේ

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මේ අතර, තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවසන් ඔස්ට්‍රේලියානු සංචිතය ද අද(12) ප්‍රකාශයට පත් කෙරුණා.

නිත්‍ය නායක පැට් කමින්ස් ආබාධයක් හේතුවෙන් මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් ස්ටීවන් ස්මිත් සංචිතයේ නායකයා ලෙස පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව අද ආරම්භ වන එක්දින තරගාවලියේදී ද නායකයා ලෙස කටයුතු කරන්නේ ඔහුයි.

කමින්ස්ට අමතරව ජොෂ් හේසල්වුඩ් හා මිචෙල් මාෂ් ද ආබාධවලට ලක්ව ඇති බැවින් මීට පෙර නම් කෙරුණු මූලික සංචිතයට වෙනස්කම් රැසක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුවට සිදු වුණා. ඊට අමතරව මර්කස් ස්ටොයිනිස් ද එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට පසුගියදා පියවර ගත්තේ ශූරයින්ගේ කුසලානයෙන් ද ඉවත් වෙමින්.

මිචෙල් ස්ටක් ද තරගාවලියෙන් ඉවත් වීමත් සමග ඔස්ට්‍රේලියාව පෙබරවාරි 19 වැනිදා ආරම්භ වන ශූරයින්ගේ කුසලානයට ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේ ප්‍රධානම වේග පන්දු යවන්නන් තිදෙනා නොමැතිවයි.

මෙම ක්‍රීඩකයින් වෙනුවට Sean Abbott, Ben Dwarshuis, Jake Fraser-McGurk, Spencer Johnson හා Tanveer Sangha ඔස්ට්‍රේලියානු සංචිතයට මේ වන විට ආදේශ කර තිබෙනවා. Cooper Connolly නම් කර ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි.

ශූරයින්ගේ කුසලානයට පෙර ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන අවසන් එක්දින තරග දෙක ශ්‍රී ලංකාවට එරෙහිව අද සහ එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිත අතර, ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 22 වැනිදා එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Australia Champions Trophy squad

Steve Smith (c), Sean Abbott, Alex Carey, Ben Dwarshuis, Nathan Ellis, Jake Fraser-McGurk, Aaron Hardie, Travis Head, Josh Inglis, Spencer Johnson, Marnus Labuschagne, Glenn Maxwell, Tanveer Sangha, Matthew Short, Adam Zampa