ස්ටක්ගේ කඩුලු 5 හමුවේ කොදෙව්වන්ට දරුණු පරාජයක්
ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක්ගේ සුපිරි පන්දු යැවීම හා බටහිර ඉන්දීය කොදෙව් මුල්පෙල හා මැදපෙල පිතිකරුවන්ගේ අසාර්ථක වීම හේතුවෙන් දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 133ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
තරගය බාර්බඩෝස්හී දී පැවැති අතර, වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 49කට සීමා කිරීමට සිදු වුණා.
පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 9කට ලකුණු 252ක් රැස් කළේ නායක ඇලේක්ස් කෙරීගේ ලකුණු 67න් හා ඇෂ්ටන් ටර්නර් ලබා ගත් ලකුණු 49න් සවිමත් වෙමින්.
පන්දු යැවීමේ දී හෙයිඩ්න් වොල්ෂ් ලකුණු 39කට කඩුලු 5ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 27කට දැවී ගිය අතර, ඔවුන්ට පන්දුවාර 26.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123ක් පමණයි.
නායක කිරන් පොලාඩ් හා අල්සාරි ජෝසප් අතර 7 වැනි කඩුල්ලට ලකුණු 68ක සබදතාවයක් ගොඩ නැගුණා.
පොලාඩ් ලකුණු 56ක්, ජොසප් ලකුණු 17ක් හා හෙයිඩ්න් වොල්ෂ් ලකුණු 20ක් රැස් කළා.
පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 5ක් හා ජොෂ් හේසල්වුඩ් කඩුලු 3ක් බිද හෙලුවා.