Ultimate magazine theme for WordPress.

සවුද් ශකීල්ගේ ශතකය හමුවේ පාකිස්තානය එක් ලකුණක් ඉදිරියෙන්

Lunch Report

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (18). වර්ෂාව හේතුවෙන් තෙවැනි දිනය සදහා තරගය ආරම්භ කෙරුණේ පැයක පමණ ප්‍රමාදයකින් පසුවයි.

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටි අතර, දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 313 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින සවුද් ශකීල් ලකුණු 119 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔහු අද වාර්තා කළේ සිය දෙවැනි ටෙස්ට් ශතකයයි. ශකීල්ගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත්.

ලකුණු 101 ට කඩුලු 5 ක් දැවී ගොස් තිබූ පසුබිමක ඔහු හා ආගා සල්මාන් අතර 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 177 (218) ක්.

සල්මාන් පන්දු 113 කින් ලකුණු 83 ක් ලබා සිටියදී දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසු වෙමින්. නෝමන් අලී නොදැවී ලකුණු 13 යි.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් දවා ගෙන ඇති අතර, රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 ක් ද, කසුන් රාජිත එක් කඩුල්ලක් ද බිද හෙලා තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 312 ක් රැස් කළා. ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 122 ක් රැස් කළා. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 යි. පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි, නසීම් ශාහ් හා අබ්‍රාර් අහ්මඩ් කඩුලු 3 බැගින් දවා ගත්තා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී එක් ලකුණක් ඉදිරියෙන් පසුවනවා.