සන්රයිසස් කණ්ඩායමටත් නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්තයේ ඩැනියල් විටෝරි පත් කර තිබෙනවා.
ඒ, මෙතෙක් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ කොදෙව් ජාතික බ්‍රයන් ලාරා වෙනුවටයි.
විටෝරි මීට පෙර 2014 වසරේ සිට 2018 වසර දක්වා කාලයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.
ඔහු මේ වන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ද, එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් තරගාවලියේ දී Birmingham Phoenix කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.
මෙම පත් කිරීමත් සමග සන්රයිසස් කණ්ඩායමට තරග වාර 6 ක් තුළ ප්‍රධාන පුහුණුකරුවන් සිව් දෙනෙකු පත් කිරීමට කණ්ඩායම් හිමිකාරීත්වය පියවර ගෙන තිබීම විශේෂත්වයක්.
2019 වසරේ දී හා 2022 වසරේ දී ටොම් මූඩි ද, 2020 වසරේ දී හා 2021 වසරේ දී ට්‍රෙවර් බෙයිලිස් ද, 2023 වසරේ දී බ්‍රයන් ලාරා ද එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.
2021 අයි.පී.එල් තරගාවලියේ සිට සන්රයිසස් කණ්ඩායම තරග 29 ක් පරාජයට පත්ව ඇති අතර, ජය ගෙන ඇත්තේ තරග 13 ක් පමණයි.
මීට පෙර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජස්ටින් ලැන්ගර් ද, එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඇන්ඩි ෆ්ලවර් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද 2024 තරග වාරය වෙනුවෙන් පත් කෙරුණා.