Ultimate magazine theme for WordPress.

සනත් ජයසූරියගේ නව පත් වීම ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(8) තහවුරු කළා.

ඒ අනුව එළඹෙන අගෝස්තු – සැප්තැම්බර් මාසවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සිදු කරන එංගලන්ත තරග සංචාරය අවසන් වන තුරු සනත් ජයසූරිය මහතා අදාළ ධූරයේ කටයුතු කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහුගේ නව පත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන අතර, මෙම මස අගදී ආරම්භ වන ඉන්දියාවට එරෙහි තරගාවලියන් හී දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කිරීමට නියමිතයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු ද වන හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකයෙකු ලෙස පසුගිය දෙසැම්බර් මාසයේ දී පත් කෙරුණා.

වසරක කාලයක් සදහා බලපැවැත්වෙන පරිදි එම පත් කිරීම සිදු කළ අතර, නිමා වූ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග ද ඔහු උපදේශකයෙකු ලෙස රැදී සිටියා.

ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව සිය ධූරයෙන් ඉවත් වූ අතර, අනතුරුව නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමට මෙතෙක් කටයුතු කර නැහැ.

එම කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතින බැවිනුයි එළඹෙන ඉන්දීය හා එංගලන්ත තරගාවලි වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කිරීමට තීරණය කර ඇත්තේ.

මීට පෙර සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් ඇතුළත් අතර, අනතුරුව සිදු කරන එංගලන්ත තරග සංචාරයේ දී ටෙස්ට් තරග තුනක් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතයි.