සකිබ් මහ්මූද්ගේ ඉන්දීය වීසා අර්බුදය විසදෙයි

එංගලන්ත කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා ඉන්දියාවට ඇතුළු වීම වෙනුවෙන් මෙතෙක් වීසා හිමි නොවුණු එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක සකිබ් මහ්මූද්ට මේ වන විට වීසා ලැබී තිබෙනවා.
ඒ අනුව ඔහුට එංගලන්ත කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග ඉන්දීය තරග සංචාරය සදහා එක්වීමට අවස්ථාව උදා වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
වීසා ලබා ගැනීමේදී සිදු වූ ප්‍රමාදයක් හේතුවෙන් සකිබ් මහ්මූද්ට ඉන්දීය සංචාරයට පෙර අබුඩාබිහීදී පැවැති පුහුණු කදවුරකට එක්වීමේ අවස්ථාව ද අහිමි වුණා.
පාකිස්තාන සම්භවයක් සහිත එංගලන්ත ක්‍රීඩකයින්ට ඉන්දීය තරග සංචාරවල නිරත වීමේදී මෙවැනි වීසා ගැටලු ඇති වීම සාමාන්‍ය සිදුවීමක්.
පසුගිය වසරේදී එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක ශොයිබ් බෂියර්ට ද මේ ආකාරයෙන්ම වීසා ගැටලුවකට මුහුණ දීමට සිදු වූ අතර, ඒ හේතුවෙන් ඔහුට ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගය ද අහිමි වුණා.
එංගලන්ත විස්සයි 20 සංචිතයේ සිටින පාකිස්තාන සම්භවයක් සහිත අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වන අඩිල් රෂීඩ් හා රෙහාන් අහ්මඩ්ට සිය වීසා ලබා ගැනීමේදී ගැටලුවක් ඇතිව තිබුණේ නැහැ.
ඉන්දීය සංචාරයට පෙර ජොෆ්ර ආචර්, ගස් ඇට්කින්සන්, බ්‍රයිඩන් කර්ස් හා මාර්ක් වුඩ් යන ක්‍රීඩකයින් සමග සකිබ් මහ්මූද් ද අබුඩාබිහීදී වේග පන්දු පුහුණු කදවුරට එක්වීමට නියමිතව සිටියා. වේග පන්දු උපදේශක ජේම්ස් ඇන්ඩර්සන් විසිනුයි එම පුහුණු කදවුර මෙහෙයවනු ලබුවේ.
වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් සකිබ් මහ්මූද්ට සිය විදේශ ගමන් බලපත්‍රය භාර දීමට සිදුව තිබූ අතර, ඒ හේතුවෙනුයි ඔහුට අබුඩාබි බලා පිටත්ව යාමට ද නොහැකි වුණේ.
ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය එළඹෙන 22 වැනිදා කොල්කටාහීදී ආරම්භ වීමට නියමිතයි. අනතුරුව දෙරට අතර එක්දින තරග 3ක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.