ශූරයින්ගේ කුසලානය ගැන අවසන් තීරණය අද ; විකල්ප 3 ක් ගැන අවධානය
පාකිස්තානයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දියාව එරට සංචාරය නොකිරීමට තීරණය කිරීමත් සමග පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය පිළිබද සාකච්ඡා කර අවසන් තීන්දු තීරණ ලබා ගැනීම වෙනුවෙන් අද(29) දිනයේදී විශේෂ අයි.සී.සී රැස්වීමක් කැදවා තිබෙනවා.
මාර්ගගත ක්‍රමවේදය හරහා පැවැත්වීමට නියමිත මෙම අයි.සී.සී රැස්වීමේදී විකල්ප 3 ක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති.
- දෙමුහුන් ක්‍රමවේදය – එනම්, තරගාවලියේ තරග රැසක් පාකිස්තානයේදී පවත්වා ඉන්දියාව ක්‍රීඩා කරන තරග වෙනත් රටකදී පැවැත්වීම.
- තරගාවලිය සම්පූර්ණයෙන්ම වෙනත් රටකදී පැවැත්වීම. එහිදී ද තරගාවලියේ සත්කාරක අයිතිය තවදුරටත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සතු වනු ඇති.
- තරගාවලිය ඉන්දියාවේ සහභාගීත්වයක් නොමැතිව පාකිස්තානයේදී පැවැත්වීම.
කෙසේ වෙතත්, තෙවැනි විකල්පය තෝරා ගැනීමට ඇති ඉඩකඩ ඉතා අවම මට්ටමක පවතින්නේ ඉන්දියාවේ වාණිජමය වටිනාමක ඉතා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන්. එම විකල්පය තෝරා ගතහොත් එය වාණිජමය වශයෙන් දැඩි අහිතකර තත්ත්වයක් නිර්මාණය කරනු නොඅනුමානයි.
මේ අතර, පළමු විකල්පය වන දෙමුහුන් ක්‍රමවේදයට අනුව තරගාවලිය පැවැත්වීම ද මේ වන විට දැඩි අවිනිශ්චිත මට්ටමක පවතින්නේ පාකිස්තානය දිගින් දිගටම ඊට දැඩි ලෙස විරෝධය පල කිරීම හේතුවෙන්. පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද(28) දිනයේදීද අයි.සී.සීය වෙත දෙමුහුන් ක්‍රමවේදයට එකග නොවන බව දැනුම් දී ඇති බව සදහන්.
අයි.සී.සී රැස්වීමේදී ගනු ලබන අවසන් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය එරට රජය දැනුවත් කිරීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුවයි ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට සිදු වන්නේ.
දෙමුහුන් ක්‍රමවේදය යටතේ ශූරයින්ගේ කුසලාන තරගාවලිය පැවැත්වීමට සිදුවුවහොත් පාකිස්තානය 2031 වසර දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත කිසිදු අයි.සී.සී තරගාවලියක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉන්දියාවට ගමන් නොකරනු ඇති.
2025 කාන්තා එක්දින ලෝක කුසලානය, 2026 T20 ලෝක කුසලානය (ශ්‍රී ලංකාව සමගින්), 2029 ශූරයින්ගේ කුසලානය හා 2031 එක්දින ලෝක කුසලානය(බංග්ලාදේශය සමගින්) ඉන්දියාවේදී පැවැත්වීමට මේ වන විටත් තීරණය කර අවසන්.
එම තරගාවලි ද දෙමුහුන් ක්‍රමවේදය යටතේ පැවැත්විය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කරමින් පමණක් ඇතැම් විට පාකිස්තානය 2025 ශූරයින්ගේ කුසලානයට දෙමුහුන් ක්‍රමවේදය යොදා ගැනීමට එකග වීමට ද ඉඩක් පවතින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත්, දෙමුහුන් ක්‍රමවේදය යටතේ තරගාවලිය පැවැත්වුවහොත් පාකිස්තානය හා ඉන්දියාව මූලික වටයේ දී කාන්ඩ දෙකකින් තරග වැදීමට ඉඩ ඇති අතර, ඊට තරගාවලියේ නිල රූපවාහිනී විකාශන ආයතනය විරෝධතාවය පල කරනු ඇති.
මේ අතර, ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායමට පාකිස්තානයේ සංචාරය නොකරන ලෙසට ඉන්දීය රජය කළ දැනුම් දීම හේතු සහිතව ලිඛිතව ලබා දෙන ලෙසට පාකිස්තාන ක්‍රිකට් ආයතනය මීට පෙර අයි.සී.සීයට දැනුම් දී තිබූ නමුත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් එය ලිඛිතව ඉදිරිපත් කර නැහැ.