Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සමගින් CPL හෙට ඇරඹේ; නැරඹිය හැකි අයුරු මෙන්න

බටහිර ඉන්දිය කොදෙව් දූපත් හි පැවැත්වෙන ප්‍රමුඛතම විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය වන කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් CPL තරගාවලියේ නවවන අදියර හෙට(26) ආරම්භ වනවා.

තරගාවලිය හෙට සිට සැප්තැම්බර් 15 වනදා දක්වා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

පළමු තරගය පැවැත්වෙන්නේ ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම හා ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වන අතර, සියලු තරග ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස්හි Warner Park ක්‍රීඩාංනයේ දී පැවැත්වෙනවා.

2013 වසරේදී ඇරඹි CPL තරගාවලියට මෙවරත් විදෙස් ක්‍රීඩකයන් රැසක් සහභාගීවීමට නියමිතයි.

කණ්ඩායම් 6 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලියට තරග 33 ක් ඇතුළත්.

එක් කණ්ඩායමක් සෑම කණ්ඩායමක් සමගම අවස්ථා දෙකකදී තරගවැදීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහභාගීවනවා. ඒ, හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු වන තිසර පෙරේරා සහ ඉසුරු උදානයි.

තිසර පෙරෙරා බාබර්ඩෝස් රෝයල්ස් කණ්ඩායමත්, ඉසුරු උදාන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමත් නියෝජනය කරනවා.

ඔවුන් දෙදෙනාට අමතරව ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගව තොරා ගෙන තිබූ නමුත්, එළඹෙන දකුණු අප්‍රිකා තරගාවලිය හේතුවෙන් ඔහු මෙවර CPL තරගාවලියට ක්‍රීඩා නොකිරීමටයි තීරණය කළේ.

තරගාවලි 08 ක් මේ වන විට සාර්ථකව පවත්වා අවසන් අතර එයින් තරගාවලි 04 කම ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ කිරන් පොලාඩ් නායකත්වය දරන සුප්‍රකට බොලිවුඩ් නලු ශාරුක් ඛාන් හිමිකාරිත්වය දරන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

මෙවර තරගාවලිය Star Sports 1 හා Star Sports 1 HD නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයින්ට හිමි වනවා.

එමෙන්ම CPL නිල යූ ටියුබ් හා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද තරගාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව උදා වනවා.

Leave a comment
logo