Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සටන අපතේ යවමින් තරගාවලියේ ජය එංගලන්තයට

Match Report

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹය හේතුවෙන් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්තය මෙරට වේලාවෙන් අද(25) අලුයම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 5ක පරාජයක් ලැබීම හේතුවෙන්.

මෙම තරගයේ ද කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, පාසල් කණ්ඩායමක් සේ පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් සුපුරුදු අඩුපාඩු යළි යළිත් ප්‍රදර්ශනය කරමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 111ක් ලබා ගත්තේ නිර්භය පිතිහරඹයක අවශ්‍යතාවය පුනපුනා පවසන නායක කුසල් ජනිත්ගේ ප්‍රකාශ තඹ දොයිතුවකට මායිම් නොකරමින්.

දෙවන පන්දුවාරයේ දී ම ධනුෂ්ක ගුණතිලක අනවශ්‍ය ලකුණක් කරා දිවයාමට ගොස් තම කඩුල්ල පූජා කරනු ලැබුවා. ඔහු ලකුණු 3ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු රැස් කළේ ලකුණු 6ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ පවර් ප්ලේ අවස්ථාව අවසන් වූයේ කිසිදු හතරේ හෝ හයේ පහරක් වාර්තා නොවෙමින්.

ඉනිමේ පළමු හතරේ පහර කුසල් මෙන්ඩිස් විසින් එල්ල කරනු ලැබුවේ 8 වන පන්දුවාරයේ 4 වන පන්දුවේ දී යි.

තෙවන කඩුල්ල සදහා කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් අතර පන්දු 54කින් ලකුණු 50ක සබදතාවයක් ගොඩ නැගුණා.

කුසල් ජනිත් ලකුණු 21කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 39යි. ඉසුරු උදාන නොදැවී ලකුණු 19යි.

ශ්‍රී ලංකා ඉනිම පුරාම වාර්තා වූයේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් පමණයි. කුසල් මෙන්ඩිස්ගේ සහ ඉසුරු උදානගේ පිත්තෙන් පමණක් එම හතරේ සහ හයේ පහර වාර්තා වීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹය මොනවට පැහැදිලි කරනවා.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් සහ මාර්ක් වුඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණා.

ඒ, එංගලන්ත ඉනිමේ කඩුලු 4ක් ලකුණු 36කට දවා ගනිමින්. ජේසන් රෝයි ලකුණු 17කට සහ ඔයින් මෝර්ගන් ලකුණු 11කට දැවී ගියා.

එංගලන්තය පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 69ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව තරගය තාවකාලිකව නතර කෙරුණු අතර, පසුව තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එංගන්තයට පන්දුවාර 18කදී ලකුණු 103ක ඉලක්කයක් හිමි වුණා.

ඔවුන් එය පසුකර ගියේ පන්දුවාර 16.1ක් අවසානයේ දී යි.

5 වන කඩුල්ල සදහා ලකුණු 54ක සබදතාවයක් ගොඩ නැගීමට සෑම් බිලින්ග්ස් සහ ලියම් ලිවින්ග්ස්ටෝන් සමත් වීම තරගයේ ජය එංගලන්තයට හිමි වීමට ප්‍රධාන ලෙස හේතු වුණා.

බිලින්ග්ස් ලකුණු 24කට දැවී ගිය අතර, ලිවින්ග්ස්ටෝන් නොදැවී ලකුණු 29ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 20කට කඩුලු 2ක් බිද හෙලුවා.

Leave a comment
logo