Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සිම්බාබ්වේ දේශයට

අයි.සී.සී කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම් 3 තෝරා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සිම්බාබ්වේහී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද(19) නිවේදනය කළේ නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය පැවැත්වෙන බවයි.

ඒ සදහා ක්‍රීඩා කරන රටවල් ගණන 10ක්. තරගාවලියේ තරග කාලසටහන ද ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

සිම්බාව්වේ, ශ්‍රී ලංකාව, අමෙරිකා එක්සත් ජනපදය, බංග්ලාදේශය, අයර්ලන්තය, නෙදර්ලන්තය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියාව, තායිලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක් වනු ඇති.

පසුගිය වසරේ දී සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය විටින් විට කල් දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලයට සිදු වුණේ ගෝලීය කොරෝනා වසංගතය හේතුවෙන්.

2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මාර්තු 4 වැනිදා සිට අප්‍රේල් 3 වනදා දක්වා නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලිය සදහා මේ වන විටත් රටවල් 5ක් සුදුසුකම් ලබා අවසන්. එනම්, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා සත්කාරක නවසීලන්තයයි.