Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට ආබාධ ප්‍රශ්නයක්; තෙවැනි තරගය වර්ෂාව අධික වූ රෝස් බෝල් පිටියේ; තණතීරුවේ ස්වභාවය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ එක් අදියරක් අදින් නිමා වන්නේ තෙවැනි හා අවසන් 20යි 20 තරගයත් සමගයි.

පළමු තරග දෙක මෙරට වේලාවෙන් රාත්‍රී 11ට ආරම්භ වූ නමුත්, අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

තරගය පැවැත්වෙන්නේ ද පළමු තරග 2 පැවැති කාර්ඩිෆ් ක්‍රීඩාංගනයේ දී නොව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය පැවැති සවුත්හැම්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගනයේ දී යි.

එංගලන්ත කණ්ඩායම තරග 3-0ක පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමේ අරමුණින් අද තරගයට එක් වනවා.

ශ්‍රී ලංකාව මෙම තරගයට එක්වන්නේ නැති වූ සියලු ගෞරව පසෙකලා රටේ අභිමානය යම්තමින් හෝ රැක ගැනීමේ අරමුණින්.

ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලියට හෝ සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට අද තරගයේ ජය ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති.

කෙසේ වෙතත්, එංගලන්ත පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වී සිටින ශ්‍රී ලංකා පිතිකරුවන්ට අද තරගයේ දී ද ප්‍රබල අභියෝගයක් එංගලන්තයෙන් එල්ල වන බවනම් සැක නැහැ.

තෙවැනි 20යි 20 තරගය පැවැත්වෙන රෝස් බෝල් ක්‍රීඩාංගනයේ දී මෙම තරග වාරය තුළ මෙතෙක් කිසිදු 20යි 20 තරගයක් පවත්වා නැහැ.

එංගලන්තයේ පැවැත්වෙන අන්තර් ප්‍රාන්ත 20යි 20 තරගාවලිය සදහා එම ක්‍රීඩාංගනය යොදා ගැනීමට මෙවර නොහැකි වූයේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය වෙනුවෙන් රෝස් බෝල් ක්‍රීඩාංගනය පසුගිය කාලයේ දී ඉන්දීය කණ්ඩායමේ කදවුර බවට පත්ව තිබීම හේතුවෙන්.

පෙර තරග පැවැති කාර්ඩිෆ් තණතීරුවට සාපේක්ෂාව සවුත්හැම්ටන් තණතීරුව පිතිකරුවන්ට වාසිදායක ස්වභාවයක් ගනු ලබනවා.

ඒ අනුව අද තරගයේ දී වැඩි ලකුණු සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවට අනුමාන කෙරෙනවා.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් අද තරගය සදහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරගයේ දී ඇතැම් විට වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට ද ඉඩ පවතිනවා.

20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ පසුවන ලක්ෂාන් සදකැන් පළමු තරග දෙක සදහා ක්‍රීඩා නොකිරීම ද බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්ව ඇති කරුණක්.

අකිල ධනංජය ද පළමු තරග දෙක තුළ දී සැලකිය යුතු දක්ෂතාවයක් නොදැක් වූ බැවින් බොහෝ විට අද තරගයේ දී ඔහුට සිය ස්ථානය අහිමි වනු ඇති.

එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් ආබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයට සහ එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන බව ඊයේ නිවේදනය කෙරුණා.

ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුවද අද තරගය සදහා වර්ෂාවෙන් දැඩි බාධාවීමක් සිදු නොවනු ඇති බවටයි අනාවැකි පලව ඇත්තේ.

Leave a comment