Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ‘A’ ලකුණු 129 ක් ඉදිරියෙන්

Day 3 Report

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (9) ගාල්ල ක්‍රීඩාංගනයේ දී නිමා වුණා. ඒ වන විට දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ඉදිරියෙන් පසු වූ ලකුණු සංඛ්‍යාව 129 ක්.

දිනය නිමා කරන විට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටියා. යළිත් පිත්තෙන් දක්ෂතා අතරට පිවිසි නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 84 ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ හයේ පහරක් හා හතරේ පහර 13 ක් ද සමගින්.

කමිදු මෙන්ඩිස් ලකුණු 67 කටත්, ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 47 කටත් දැවී ගියා. පන්දු යැවීමේ දී Jack Carson කඩුලු 2 ක් බිද හෙලුවා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 234 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 405 ක් රැස් කළා.

ජෙමී ස්මිත් ලකුණු 126 ක් ලබා ගත්තේ පන්දු 82 කින්. ඒ, හයේ පහර 8 ක් හා හතරේ පහර 13 ක් සමගින්. ඇලෙක්ස් ලීස් ලකුණු 97 කට දැවී ගියා. ජොෂ් බොහනන් ලකුණු 54 යි.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 84 කට කඩුලු 4 ක් දවා ගත් අතර, විශ්ව ප්‍රනාන්දු ලකුණු 83 කට කඩුලු 3 ක් දවා ගත්තා. ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 59 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 332 ක්. ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 128 ක් ලබා ගත් අතර, නිපුන් ධනංජය ලකුණු 61 යි. පන්දු යැවීමේ දී Josh Tongue ලකුණු 76 කට කඩුලු 5 ක් බිද හෙලුවා.