Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය අවසන්

ADVERTISEMENT

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විට අලෙවි වී අවසන්ව තිබෙනවා.

ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ආරම්භ වී එක් දිනක් ඇතුළත සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි වීම විශේෂත්වයක්.

ඇමෙරිකානු ඩොලර් 5 (රුපියල් 1,600), ඩොලර් 20 (රුපියල් 6,400) හා ඩොලර් 35 (රුපියල් 11,200) යන මිල ගණන් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරුණා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය අගොස්තු 31 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

අදියර දෙකක් යටතේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ඊයේ දහවල් කාලයේ සිට ආරම්භ කෙරුණු අතර, බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ ඊයේ රාත්‍රී කාලයේ දී යි.

ප්‍රධාන වශයෙන් ඩොලර් 30 (රුපියල් 9,600), ඩොලර් 125 (රුපියල් 40,000) හා ඩොලර් 300 (රුපියල් 96,000) යන මිල ගණන් යටතේයි ඉන්දු – පාකිස්තාන තරගයේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ආරම්භ කෙරුණේ.

ඩොලර් 125 හා ඩොලර් 300 වටිනාකමින් යුත් ප්‍රවේශ පත්‍ර සියල්ල ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ආරම්භ කර පැය දෙකක පමණ කාලයක් තුළ අලෙවි වී අවසන් වුණා. එම තරගයේ ඩොලර් 30 ක වටිනාකමින් යුත් ප්‍රවේශ පත්‍ර මෙම පුවත පල කරන අවස්ථාවේ දී ඉතිරිව තිබුණේ තවත් 600 කට ආසන්න ප්‍රමාණයක් පමණයි.

ඉන්දු – පාකිස්තාන තරගය සැප්තැම්බර් දෙවැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

pcb.bookme.pk යන වෙබ් ලිපිනය හරහායි ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ.

Leave a comment