ශ්රී ලංකා-පාකිස්තාන තරගය ගැන BCCI සිය ස්ථාවරය දැනුම් දෙයි
2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ තරග කාලසටහන යළි සංශෝදනය කිරීමට හැකියාවක් නොමැති බවට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය විසින් හයිදරාබාද් ක්රිකට් සංගමය වෙත දැනුම් දී තිබෙනවා.
ඒ, ඔක්තෝබර් 9 වැනිදා හා 10 වැනිදා අඛණ්ඩව තරග දෙකක් හයිදරාබාද් ක්රීඩාංගනයේ පැවැත්වීම ගැටලු සහගත බවට හයිදරාබාද් ක්රිකට් සංගමය විසින් සිදු කළ දැනුම් දීමට ප්රතිචාර දක්වමින්.
හයිදරාබාද් පොලීසිය විසින් අඛණ්ඩව තරග දෙකක් සදහා ප්රමාණවත් ආරක්ෂාවක් ලබා දීමේ ගැටලු සහගත තත්ත්වයක් පවතින බවට හයිදරාබාද් ක්රිකට් සංගමය වෙත දැනුම් දීමෙන් පසුව එම සංගමය විසින් ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය වෙත මෙම දැනුවත් කිරීම සිදු කර තිබුණා.
ඔක්තෝබර් 9 වැනිදා නවසීලන්තය හා නෙදර්ලන්තය අතර තරගයත්, ඔක්තෝබර් 10 වැනිදා ශ්රී ලංකාව හා පාකිස්තානය අතර තරගයත් හයිදරාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.
ශ්රී ලංකා කණ්ඩායම ඔක්තොබර් 8 වැනිදා හයිදරාබාද් වෙත පැමිණිමට නියමිතව ඇති අතර, පාකිස්තානය හා නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලිය යටතේ සිය පළමු තරගයට ක්රීඩා කරන්නේ ද හයිදරාබාද් හී දී ඔක්තෝබර් 6 වැනිදායි.
පාකිස්තානය හා නෙදර්ලන්තය අතර පැවැත්වෙන එම තරගයෙන් පසුව අදාළ කණ්ඩායම් දෙකම සිය දෙවැනි තරගය වෙනුවෙන් හයිදරාබාද් හි රැදී සිටීමට නියමිතයි.
ඔක්තෝබර් 5 වැනිදා එංගලන්තයට එරෙහිව සිය පළමු තරගය ක්රීඩා කිරීමෙන් පසුව නවසීලන්ත කණ්ඩායම ද හයිදරාබාද් වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව කණ්ඩායම් හතරකට දින කිහිපයක් සදහා ආරක්ෂාව ලබා දීමට හයිදරාබාද් පොලීසියට සිදු වනවා.
ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ ස්ථාවරය මේ වන විට හයිදරාබාද් ක්රිකට් සංගමය විසින් හයිදරාබාද් පොලීසිය වෙත දැනුම් දී ඇති අතර, ඒ අනුව කණ්ඩායම් 4 සදහා ප්රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට හයිදරාබාද් පොලීසිය සහතික වී ඇති බව සදහන්.
මේ අතර, ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වෙන ශ්රී ලංකා – පාකිස්තාන තරගයට පෙර එම කණ්ඩායම් දෙකට පුහුණුවීම් සිදු කිරීම සදහා Secunderabad හි Gymkhana ක්රීඩාංගනය ලබා දීමට ද තීරණය කර තිබෙනවා.
මීට පෙර ද ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි තරග 9ක සංශෝදනයක් සිදු කිරීමට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය හා ජගත් ක්රිකට් කවුන්සලය පියවර ගත්තේ ආගමික උත්සව හා ආරක්ෂාව ලබා දීම පිළිබද ඇති වූ ගැටලු පදනම් කර ගනිමිනුයි.
එහිදී ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 15 වැනිදා වෙනුවට 14 වැනිදා පැවැත්වීමට තීරණය කෙරුණු අතර, ඒ හේතුවෙන් පාකිස්තානය හා ශ්රී ලංකාව අතර ඔක්තෝබර් 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය 10 වැනිදා පැවැත්වීමට තීරණය කෙරුණා.
ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ ප්රවේශ පත්ර අලෙවි කිරීම එළඹෙන 25 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට ද නියමිතයි.
- Also Read : ලෝක කුසලානයේ ප්රවේශ පත්ර මිලදී ගන්නේ මෙහෙමයි