Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 222 කට සීමා වෙයි

Innings Report

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 222 ක් පමණයි.

වැඩිම ලකුණු ලාභියා වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායකත්වය දැක් වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු 115 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 10ක් ඇතුළත්.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න එක් ලකුණකට දැවී ගියේ ශහීන් ශාහ් අෆ්රිඩිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. ඕෂද ප්‍රනාන්දු ලකුණු 35කට දවා ගැනීමට හසන් අලී සමත් වූ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 21 කට දවා ගත්තේ යසීර් ශාහ් විසින්. ඇන්ජෙලෝ මැතිව්ස්ට මෙම ඉනිමේ දී ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ධනංජය ද සිල්වා ලකුණු 14කට දැවී ගියේ ද ශහීන් ශාහ් අෆ්රිඩිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. අනතුරුව අෆ්රිඩිගේ පන්දුවක් හමුවේම නිරෝෂන් දික්වැල්ල ලකුණු 4කට දැවී ගියා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 11කටත්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 3කටත් දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණේ තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගනිමින්.

මහීෂ් තීක්ෂණ ලකුණු 38 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පසුපෙලට යම් ශක්තියක් ලබා දුන්නා. කසුන් රාජිත නොදැවී ලකුණු 12 යි. ඔවුන් දෙදෙනා අතර අවසන් කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 45 ක්. තීක්ෂණ හා චන්දිමාල් අතර 9 වැනි කඩුල්ල සදහා ද ලකුණු 44ක සබදතාවක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 58 කට කඩුලු 4ක් දවා ගත් අතර, යසීර් ශාහ් හා හසන් අලී කඩුලු 2 බැගින් බිද හෙලුවා. නසීම් ශාහ් හා මොහොමඩ් නවාස් අතරේ ද එක් කඩුල්ල බැගින් බෙදී ගියා.