Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයේ දී අලුත් වූ වාර්තා 9 ක් මෙන්න

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ(7) දිල්ලි ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ පිතිකරුවන්ට හා පන්දු යවන්නන්ට අමතක නොවන තරගයක් බවට එය පත් කරමින්.

පිතිකරුවන්ට පාරාදීසයක් බවට පත් වූ මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාවට ලකුණු 102 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

මෙම තරගයේ දී වාර්තා රැසක් බිද වැටීම ද විශේෂත්වයක්. විශේෂයෙන්ම එහිදී ලෝක කුසලාන තරගාවලි වාර්තා රැසක් අලුත් වනු දක්නට ලැබුණා.

එලෙස අලුත් වූ වාර්තා පිළිබදවයි මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ.

  • මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව වාර්තා කළ ලකුණු 428/5 ලෝක කුසලාන තරගයක දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
  • එමෙන්ම එය දිල්ලි ක්‍රීඩාංගනයේ දී කණ්ඩායමක් එක්දින තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා.
  • දකුණු අප්‍රිකානු පිතිකරුවන් තිදෙනෙකු මෙම තරගයේ දී ශතක වාර්තා කළ අතර, එකම කණ්ඩායමක පිතිකරුවන් තිදෙනෙකු එලෙස ශතක වාර්තා කළ එක්දින ඉතිහාසයේ සිව්වැනි තරගය වන්නේ ද මෙම තරගයයි.
  • එමෙන්ම එලෙස එකම කණ්ඩායමක පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කළ ලෝක කුසලාන ඉතිහාසයේ පළමු තරගය වන්නේ ද මෙම තරගයයි.
  • මෙම තරගයේ දී ඒඩ්න් මාක්‍රම් පන්දු 49 කින් සිය ශතකය වාර්තා කළ අතර, එය එක්දින ලෝක කුසලාන තරගයකදී වාර්තා වූ වේගවත්ම ශතකයයි.
  • මෙම තරගයේ දී කණ්ඩායම් දෙකෙන්ම වාර්තා වූ ලකුණු ප්‍රමාණයේ එකතුව 754 ක් වූ අතර, එය ලෝක කුසලාන තරගයකදී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
  • තරගයේ දී කණ්ඩායම් දෙකෙන්ම හයේ හා හතරේ පහර 107 ක් වාර්තා වූ අතර, එය ද ලෝක කුසලාන තරගයකදී වාර්තා වූ වැඩිම හයේ පහර හා හතරේ පහර සංඛ්‍යාවයි.
  • කුසල් මෙන්ඩිස් පන්දු 25 කින් සිය අර්ධ ශතකය වාර්තා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිදු පිතිකරුවෙකු කිසිදු ලකුණක් වාර්තා කර තිබුණේ නැහැ. මෙන්ඩිස් අර්ධ ශතකය වාර්තා කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 54 ක් ලෙස සටහන්ව තිබුණා. එය එක්දින තරගයකදී පිතිකරුවෙකු අර්ධ ශතකයක් වාර්තා කරන විට කණ්ඩායමක් වාර්තා කර තිබූ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ.
  • පළමු පන්දුවාර 10 තුළ දී ශ්‍රී ලංකාව හයේ පහර 9 ක් එල්ල කළා. එය වාර්තා අතරට එක් වුණේ එක්දින තරගයකදී කණ්ඩායමක් පළමු පන්දුවාර 10 තුළ දී එල්ල කළ දෙවැනි වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි.