Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කෙරුණු විශේෂ විගණනයකට අනුව විගණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යංශය වෙත පමණක් නිකුත් කරනු ලැබූ විශේෂ විගණන කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව සිදු වී ඇතැයි සදහන් කරනු ලැබූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සම්බන්ධයෙනුයි ජාතික විගණන කාර්යාලය විසින් අදාළ විශේෂ විගණනය සිදු කරනු ලැබුවේ.

ඊට අදාළව විගණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යංශය වෙත පමණක් නිකුත් කරනු ලැබූ විශේෂ විගණන කෙටුම්පත මාධ්‍යය මගින් එළිදරවු කරමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විරුද්ධව අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය DMR 1435/23 යටතේ මෙම අධිකරණමය ක්‍රියාමාර්ග ආරම්භ කළේ මෙතෙක් අවසන් කර නොමැති විගණකාධිපතිවරයා විසින් සමාලෝචනය සදහා ඉදිරිපත් කරන ලද කෙටුම්පත් විගණන වාර්තාවක් පදනම් කර ගෙන පාර්ලිමේන්තු
මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනගේ නිලධාරීන් අරභයා දිගින් දිගටම සිදු කරන ලද ද්වේෂ සහගත හා අවමන් සහගත ප්‍රකාශ සැලකිල්ලට ගනිමිනි” යනුවෙන් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

නළු නිළියන්ට හෝ සිය පවුලේ හිතවතුන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කර ඇති බවට සනාථ කළ හැකි නම් තමා ඇතුළු නිළධාරීන් සිය ධූරවලින් ඉල්ලා අස් වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මීට පෙර සදහන් කළා.

“මේක තනිකර බොරුවක්. මේකෙ ශත 5ක් අපි කිසිම නිලියකට, කිසිම පවුලේ හිතවතෙකුට වියදම් කරලා නැහැ.” යනුවෙන් සභාපතිවරයා මාධ්‍ය හමුවකදී කියා සිටියා.