Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව ලැබූ තරගාවලි ජයෙන් පසු අලුත් වූ WTC ප්‍රසාද ලකුණු සටහන

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිය තෙවැනි ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සමත්ව සිටිනවා.

ඒ, නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වීමත් සමගයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ යටතේ තරග 9ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 5 ක් ජය ගත්තා. පරාජයට පත් වූ තරග ගණන 4 ක්.

ප්‍රසාද ලකුණු 60 කට හිමිකම් කියන ශ්‍රී ලංකාවට හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 55.56% ක්. දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 50% ක ලකුණු ප්‍රතිශතයක්.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාවට තවදුරටත් අනගි අවස්ථාවක් උදා වී තිබෙනවා. ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීලග තරගාවලි දකුණු අප්‍රිකාවට එරෙහිව (එරටදී) හා ඔස්ට්‍රේලියාවට එරෙහිව (මෙරට දී) පැවැත්වීමට නියමිතයි. එම සෑම තරගාවලියක් සදහා ද ටෙස්ට් තරග දෙක බැගින් ඇතුළත් අතර, ශ්‍රී ලංකාව මීළග තරග හතරම ජය ගතහොත් 69.23% ලකුණු ප්‍රතිශතයක් සමග ඔවුන්ට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා ඉහළ අවස්ථාවක් උදා වනවා.

ඉදිරි තරග හතරෙන් තරග 3 ක් ජය ගතහොත් ද ශ්‍රී ලංකාවට 61.54% ක ලකුණු ප්‍රතිශතයක් සමග අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා අවස්ථාවක් පවතිනවා. ඊට වඩා අඩු තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව ජයගතහොත් ඔවුන්ට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව ඉතා සීමිත වන අතර, අනෙකුත් තරග ප්‍රතිපල මත යැපීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇති.

ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වූ නවසීලන්තය 7 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ 37.50% ක ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගනිමින්. ඔවුන් මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර රැදී සිටියේ තෙවැනි ස්ථානයේයි.

මේ වන විට තරග 10කින් තරග 7 ක් ජය ගෙන සිටින ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන්නේ 71.67% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින්.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය 62.50% ලකුණු ප්‍රතිශතයක් ලබා ඇති ඔස්ට්‍රේලියාවට හිමිව තිබෙනවා. ඔවුන් තරග 12 කින් තරග 8ක් ජය ගත්තා.

Leave a comment