Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව තවත් ලකුණු 102 ක් පිටුපසින්

Lunch Report

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (10).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 262 ක් ලබා සිටියා.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 49 ක් හා දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 29 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 78 ක් ලබා ගැනීමට සමත් වුණා.

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 184 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 85කට දැවී ගියා. ඒ, නේදන් ලයන් යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

අනතුරුව චන්දිමාල් හා මැතිව්ස් අතර මේ වන විට සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගී ඇති සබදතාවය ලකුණු 76ක්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ඊයේ දිනයේ දී ලකුණු 6ක් ලබා සිටියදී දැවී ගිය අතර, අනතුරුව දෙවැනි කඩුල්ල සදහා නායක දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් ලකුණු 152 ක සබදතාවයක් ගොඩ නැගුවා. දිමුත් දැවී ගියේ ලකුණු 86 ක් ලබා සිටියදීයි.

ගාල්ලේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 364ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 102 ක්.