Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවේ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ පළමු දිනයේ සියලු ගෞරව පාකිස්තානයට

Day 1 Report

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(24) නිමා වුණේ දිනයේ සියලු ගෞරව පාකිස්තානයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 145 ක්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඉමාම් උල් හක් ලකුණු 6 කට දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා. කෙසේ වෙතත්, අනතුරුව අබ්දුල්ලාහ් ශෆික් හා ශාන් මසූඩ් අතර දෙවැනි කඩුල්ලට ලකුණු 108 (117) ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

මසූඩ් ලකුණු 51 කට දැවී ගියේ ද අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි. ඔහු ලකුණු 10 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට අසිත සමත් වූ නමුත්, එය දැවී යාමක් ලෙස විනිසුරු ප්‍රකාශයට පත් කළේ නැහැ. ශ්‍රී ලංකාව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ද එහිදී යොදා නොගත් බැවින් ශ්‍රී ලංකාවට එම කඩුල්ල දවා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ශෆික් ලකුණු 74 ක් ද, බාබර් අසාම් ලකුණු 8 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි. දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 79 ක් ලබා සිටි අතර, තේ පානය සදහා තරගය නතර කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 6 දැවී ගියා.

ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ලබා ගත්තා. ඔහු හා දිනේෂ් චන්දිමාල් අතර 5 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 85 (119) ක්. ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 36 කට දැවී ගිය පසුබිමකයි ඔවුන් දෙදෙනා එම සම්බන්ධතාවය ගොඩ නැගුවේ. චන්දිමාල් ලකුණු 34 කට දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ යළි බිද වැටීම ආරම්භ වුණා.

චන්දිමාල් 5 වැනි කඩුල්ල ලෙස දැවී යාමෙන් පසුව පිටියට පිවිසි සධීර සමරවික්‍රම ලකුණු නොලබා දැවී ගියා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 27 යි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නිශාන් මදුෂ්ක ලකුණු 4 කට දුවද්දී දැවී ගියා. යළි අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 6 ක් පමණයි. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 9කටත්, දිමුත් කරුණාරත්න ලකුණු 17 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් ලකණු 69 කට කඩුලු 4 ක් හා නසීම් ශාහ් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූ අසිත ප්‍රනාන්දු යළි කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ද මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනාගේ නම් කිරීමත් සමග කණ්ඩායමේ ස්ථාන අහිමි වුණේ කසුන් රාජිතට හා විශ්ව ප්‍රනාන්දුටයි.

පාකිස්තාන කණ්ඩායමෙන් මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.