Ultimate magazine theme for WordPress.

“ශ්‍රී ලංකාවත් එක්ක කිසිම එදිරිවාදිකමක් අපිටනම් නැහැ” : ශකිබ් අල් හසාන්

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර මෙන්ම බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය අතර පවතින එදිරිවාදිකම් (rivalry) ප්‍රේක්ෂකයින්ට වැදගත් වුවත්, එය ක්‍රීඩකයින්ට වැදගත් නොවන බව බංග්ලාදේශ නායක ශකිබ් අල් හසාන් පවසනවා.

එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ආසියානු කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය යන රටවල් එක් කාණ්ඩයකින් තරග වදින අතර, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගය එළඹෙන 31 වැනිදා මහනුවර දී ද, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය අතර තරගය සැප්තැම්බර් 3 වැනිදා ලාහෝර් හී දී ද පැවැත්වීමට නියමිතයි.

සාමාන්‍යයෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර තරගවලට ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයක් යොමුව ඇත්තේ එම රටවල් දෙක අතර පවතින උණුසුම් දේශපාලන වාතාවරණයත් සමග බිහිවී ඇති එදිරිවාදිකමයි.

ඊට සමාන නොවුණ ද මෑතක සිට ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග සදහා ද දැඩි ප්‍රේක්ෂක අවධානයක් යොමුව ඇත්තේ 2018 වසරේ පැවැති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී වූ සිදු වීම්වලින් පසුව දෙරට අතර ඇතිව තිබෙන එදිරිවාදිකම හේතුවෙනුයි.

කෙසේ වෙතත්, බංග්ලාදේශ නායකයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර තරගාවලි හා ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි හරහා ක්‍රීඩකයින් එකිනෙකා හොදින් දැන හදුන ගෙන ඇති බැවින් මෙම එදිරිවාදිකම ක්‍රීඩකයින් අතර බරපතල තත්ත්වයක් ලෙස නොපවතින බවයි.

“මම එදිරිවාදිකම යන වචනයට කැමති නැහැ” යනුවෙන් ශකිබ් අල් හසාන් සදහන් කළා.

“අපි පසුගිය කාලයේ දී මේ කණ්ඩායම් දෙකටම එරෙහිව තරගකාරී වුණා. ඔවුන් ජයග්‍රහණය කිරීමට උපරිම උත්සාහයක් දරනවා ; අපිත් අපේ උපරිමය දෙනවා. මේ දේවල් ප්‍රේක්ෂකයින්ට හොඳයි. ඒක හොදයි ක්‍රීඩාවට. අපිටත් ඕන ඒක මේ විදියට වෙන්න. අපිට ඕන දවස අවසානයේදී දිනන්න. අපි හැමෝම එකිනෙකා දන්න නිසා, ක්‍රීඩකයන් අතර ලොකු එදිරිවාදිකමක් නැහැ”